“නීල ආර්ථිකය - පළවෙනි කොටස“ ලෙස මීට පෙර පළ කරන ලද නීල ආර්ථිකය හඳුන්වා දීමේ ලිපියෙහි දිගුවක් ලෙස මෙම ලිපිය පළ කරනු ලබයි. මෙහිදී නීල ආර්ථිකයේ පවතින වැදගත්කම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරේ.
නීල ආර්ථිකය යන සංකල්පය යටතේ මූලික වශයෙන් සලකා බලනු ලබන්නේ සාගර, සමුද්‍ර සම්පත් හා එහි ප්‍රභවයන්, තිරසාර ලෙස භාවිතා කරමින් රටක/ලෝකයේ ආර්ථිකය ගොඩ නැගීමේ ක්‍රියාවලියයි.මේ යටතේ පුළුල් පරාසයක පැතිර පවතින ක්‍රියාකාරකම් රැසක් සලකා බැලිය හැකි ය.
මෙහිදී ලෝකයේ විවිධ වූ භූ ගෝලීය පිහිටීම හා ඒ හා සම්බන්ධ විවිධ වූ අංශ සහ ඒවායේ ඇති විශේෂ වූ ගුණාංග රටක ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා ඵලදායි ලෙස යොදාගත හැකිය.
නීල ආර්ථිකයේ ප්‍රභවය ලෙස සලකනු ලබන සාගර, සමුද්‍ර ආශ්‍රිතව සිදු කරනු ලබන ධීවර හා ජලජීවී වගාවේ සිට පුනර්ජනනීය සාගර ශක්ති, සාගර ජෛව තාක්ෂණ නිපැයුම් දක්වා මෙම ක්ෂේත්‍රයේ පවතින යෙදවුම් වඩා වැඩි දියුණු කළ හැකිය.
ධීවර හා ජලජීවී වගාව, සාගර ජෛව තාක්ෂණය (pharmaceuticals, sea food products), සාගර පුනර්ජනනීය ශක්තිය (offshore wind /wave energy), සාගර නිෂ්පාදන (ships, instruments), ප්‍රවාහන, සංචාරක හා විනෝද ක්‍රීඩා (sport fishing), සාගර ඉදිකිරීම්, වානිජ හා රක්ෂණ, සන්නිවේදන, අධ්‍යාපන හා පර්යේෂණ, යනාදිය නීල ආර්ථිකය යටතේ සලකා බලනු ලබන ක්ෂේත්‍ර කිහිපයක් ලෙස දැක්විය හැකිය.
ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම
මෙම සංකල්පය තුළින් සංවර්ධනය වෙමින් පවතින රටකට, එම රටේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කරගත හැකිය.
නීල ආර්ථිකයේ ඉහළ ප්‍රතිලාභ අත්කරගත හැක්කේ දූපත් වශයෙන් පිහිටා ඇති රටවලට ය. රට වටා පවතින පුළුල් සාගර හා සමුද්‍ර තීරය තම රටේ ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා සොබා දහමින් ලැබී ඇති දායාදයකි.
ශ්‍රී ලංකාව කුඩා දූපත් රාජ්‍යයක් වන අතර ඊට නාවික සැතපුම් දෙසීයක පමණ දුරකට සාගර ආර්ථික කලාපයක් (Exclusive Economic Zone) නිත්‍යානුකූල වශයෙන් හිමි වී ඇත. එසේම නුදුරු අනාගතයේ දී එය තවත් වර්ග කිලෝමීටර 75 000 කින් පමණ වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වේ. එසේ රටේ භූමි ප්‍රමාණයෙන් අට ගුණයක පමණ ප්‍රමාණයක් විශාල සාගර තීරයක් හිමිව ඇති ශ්‍රී ලංකාව වැනි රටකට නීල ආර්ථිකය තුළින් සළකා බලනු ලබන මූලික ක්ෂේත්‍රයන් ගෙන් රැසක්ම ක්‍රියාත්මක කළ හැකිය.
ශ්‍රී ලංකාව ආසියාවේ සේද මාවත ලෙස සලකනු ලබන්නේ ඒ හරහා විශාල සාගර ගමන් මාර්ග ප්‍රමාණයක් පවතින නිසාත් වඩාත් සංවර්ධිත වූ ද්විත්ව නැව් තොට වල පිහිටීමත් නිසාය.
ශ්‍රී ලංකා වටා පවතින ස්වභාවික හා සුන්දර වෙරළ තීරයක් ඒ හා බැඳි ස්වභාවික පරිසර පද්ධතීන් හා සත්ත්වයින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට යොදා ගත හැකිය.
තවද ශ්‍රී ලංකාව තුළ ගංඟා එක සිය තුනක් පමණ පවතින අතර මේ සියල්ලෙහි පවතින ජල කඳ, අවසානයේ සාගරය හා මුසු වේ. මෙලෙසින්, එසේ ගංගා ඔස්සේ සේදී පැමිණෙන ඛනිජ වර්ග රැසක් වෙරළ ආශ්‍රිතව සාගර හා සමුද්‍ර තීරයේ තැන්පත්ව පවතී. මෙම සම්පත් තිරසාර ලෙස වාණිජ අරමුණු ඉටු කර ගැනීම සඳහා භාවිතා කළ හැකිය.
මේ සඳහා ඇති අභියෝග.
1.අනවසර මත්ස්‍ය ඇල්ලීම් (Poaching)
2.මත්ද්‍රව්‍ය මත්කුඩු වෙළඳාම
3.සෞඛ්‍යය ආරක්ෂක නොවන ධීවර කටයුතු
4. IUU (Illegal Unreported Unregulated) fishing
5.සාගර හා සමුද්‍ර දූෂණය
6.කොරල් පර හා අනෙක් සම්පත් විනාශය
7.ප්‍රාදේශීය සංවිධාන නොපිහිටීම හා අරමුදල් හිඟවීම
8.දේශපාලන බලපෑම්
9.පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල පවතින දුර්වලතා
10.ගෝලීය උණුසුම ඉහළ යාම හා කාලගුණික වෙනස්කම්
මෙම නීල ආර්ථික සංවර්ධන කටයුතු ඉටු කිරීමේ දී මූලික වශයෙන් සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පවතී.
ඒවා නම්,
- මිනිස් අවශ්‍යතාවන් ඉටු කිරීම,ඔවුන් සුරක්ෂිත වීම.
- පරිසර පද්ධතීන්ගේ ස්ථාවර බව පවත්වාගැනීම.
- ව්‍යුහාත්මක හා ක්‍රමානුකූල වූ ප්‍රවේශයක් පැවැතී ම.
- තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් වීම.
2016 වසරේ ඔක්තෝබර් මස, ශ්‍රී ලංකා රජය විසින් නීල ආර්ථික වැඩසටහන වඩාත් පුළුල් ලෙස හඳුන්වා දෙන ලදී. එය එසේ වූ නමුත් ඇත්තෙන්ම මෙය පොතපතට හෝ ලේඛන වලට පමණක් සීමා නොවී, එහි ප්‍රායෝගික යෙදවීමේ ක්‍රියා පිළිවෙලක් සහ ඒ සඳහා නීති අණ පනත් පිහිටුවීමේ වැඩපිළිවෙලක් ඇති කිරීමෙන්, නීල ආර්ථිකයට අදාල ආදායම් ඉපදවිය හැකි ක්ෂේත්‍ර රැසක් ක්‍රියාත්මක කළ හැකිය. එය රටේ පවතින ආර්ථික අර්බුදය ට මනා පිටිවහලක් වනු ඇත.
Well done sanjaya
ReplyDelete