Search here..

Tuesday 30 June 2020

වෙරළ ඛාදනය නිසා ඇති වන ඛාදිත භූ රූප - Coastal Land forms

පෘථිවි තලයෙන් ඉතා විශාල ප්‍රමාණයක් පවතින්නේ සාගරය ය. මේ විශාල සාගරික ප්‍රදේශයන් ගොඩබිම හා සම්බන්ධ වන සංක්‍රාන්ති කලාපයක් සේ හැදින්විය හැකි වෙරළ ප්‍රදේශයන්(coastal environment / coastal zone ) ඉතා මනස්කාන්ත මෙන්ම සුන්දර ස්ථානද වේ.

මුහුදු රළ ඉම නිරන්තරයෙන් චලන‍ය වේ. මේ චලනයන් හට ගන්නේ කෙසේද?‍ 


මුහුදු වෙරළේ රළ හටගනු ලබන්නේ පෘථිවියේ භ්‍රමණය, උදම් චලන, සුළඟ, වර්ෂණය, වාෂ්පීභවනය, මුහුදු ජලයේ උෂ්ණත්වය ලවණතාවය, ගුරුත්වය, සමුද්‍රස්ථ භූමිකම්පා, ගොඩබිමින් සාගරයට ගලා එන ජලය ආදි හේතු / ක්‍රියාවලි රැසක් හේතු කරගෙනයි. මෙසේ ඇතිවන ක්‍රියාවලි උත්පාදනය කරනු ලබන ශක්තිය මඟින් නග්නිකරණ ක්‍රියාවට පණ දෙමින් භු රූප රැසක් නිර්මාණය කරනු ලබයි. විශාල පීඩනයන් වසර දහස් ගණනක් තිස්සේ ඉවසන වෙරළ ඉම සුදුසු තැන්හි පසුබාමින් තවත් විට නැඟි සිටිමින් වෙරළ නිර්මාණය කර ඇත. තරංග ආශ්‍රීත බලපෑම වෙරළට පමණක් සීමා වේ.
සාමාන්‍යයෙන් සාගරය සතු චලන වර්ග තුනක් ( මීට අමතරව තවත් ඒවා තිබෙනවා; උදා: සුනාමි, කුණාටු රළ ) භූ රූප නිර්මාණ ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙනවා.

1.උදම් (tides)

2.සාගර ප්‍රවාහ

3.තරංග (රළ) (waves)

තරංග ඛාදනය ලෙසින් නම් ලද වුවද වෙරළ ලක්ෂණ සකස් කරනු ලබන්නේ තරංග / රළ පමණක්ම නොවේ. වෙරළ සකස් කිරීමට බලපානු ලබන සාධක රාශියකි.

  • සාගර තරංග හා ඒවායේ ස්වභවය
  • වෙරළ නිර්මාණය වී ඇති පාෂාණ වල ස්වාභාවය.
  • ලෝක ගෝලය තුළ වෙරළ අයත් වන සයුරු කලාපය.
  • සාගරික ජල මට්ටමේ ඇති වන වෙනස් කම්.
  • කොරල් හි පිහිටිම.
  • ග්ලැසියර් බලපෑම.
  • ගංගා ආදියේ බලපෑම.
  • සුළං හි ප්‍රබල බව හා සුළං දිසාව.
  • වෙරළේ දේශගුණය
  • මානුෂ ක්‍රියාකාරකම්.(මේ ගැන මොනවාට ලියනවාද? …)

වෙරළ ඛාදනයත් ආකාර තුනකින් යුක්තයි. ඒවා ඛාදනය , පරිවහනය , නිධි සාදනය වශයෙන් වෙනවා. යම් භූ රූපයක් ඛාදිත හො නිධි සාදිත කියලා වර්ග දෙකින් එකකට මුලිකවම අයිතියි.

වෙරළ ඛාදනය නිසා ඇති වන භූ රූප කිහිපයක් තියෙනවා. ඒවා හරි ලස්සනයි. වෙරළ කොහොමත් ලස්සනයි නේ. ලස්සන වෙරළේ තියෙන භූ රූපත් ඒ වගේ තමයි.

  • මුහුදු දඹය ( sea cliff)
  • මුහුදු ගුහා (Sea cave)
  • වා සිදුර (උම්මාන / හුම්මාන) (spouting horn)
  • ආරුක්කුව (Arch)
  • මුහුදු කුළ (sea stack)
  • බොක්ක( Bay)

1.මුහුදු දඹය (Sea cliff)


මෙය නිර්මාණය වන්නේ සාමාන්‍ය ඛාදනය නිසායි.වෙරළාසන්න සාගරයෙහි එක්වර ම සිරස්ව නැ‍ඟෙන බෑවුම් කෝණය ඉතාම වැඩි භූ රූපයකි. වෙරළ දිගින් දිගටම ඛාදනය වීම නිසා මතුවන හෝ වෙරළේ පතුළ හෑරීම නිසා ප්‍රතිරෝධක පාෂාණයන් හෝ ස්වභාවිකවම වෙරළේ පිහිටන ප්‍රතිරෝධක පාෂාණ ප්‍රති-ඛාදනයට ලක් වීම නිසාත් මේවා නිර්මාණය විය හැකියි. එමෙන්ම පාෂාණයේ ඇති විභේද රේඛාවක් නිසා ඇති වන භින්න තීරු උනත් හේතු වන්නට පුළුවනි.දඹය මුහුදු ආරුක්කුවක් කඩා වැවීමෙන්ද සෑදේ.


එමෙන්ම දඹයක් කියන්නේ දිගු කාලීන නිර්මාණ ක්‍රියාවලියක ප්‍රථිපලයක් ලෙසින් හඳුන්වා දෙන්නත් පුළුවන්. මුලින් ම පවතින්නේ යන්තමින් ඇති බෑවුමක් සහිත වෙරළක්. මේ වෙරළේ නිතර දෙවේලේ රළ වැදිම හේතුවෙන් ‘කට්ටයක්’ එහෙමත් නැත්නම් ‘කත්තුවක්’ නිර්මාණය වනවා. ක්‍රම ක්‍රමයෙන් මේ කට්ටය වර්ධනය වීම පසු කාලීනව දඹයක නිර්මාණ ක්‍රියාවලිය බවට පත්වනවා. මේවා රළඹුන් දඹ ලෙසින් ද හැදින්වේ. දඹ කඩා වැටීම පිළිබඳ අසන්නට ලැබේ. එයට අනුව මැටි හෝ එවැනි පාෂාණ මත හුණු ස්ථර පිහිටීම නිසා එවිට ඒ ස්ථර පහසුවෙන් ලිස්සා යා හැකි නිසා මෙසේ දඹ කඩා වැටේ.


එමෙන් ම තෘතියික මැටිවලින් හෝ වැලිගල් වලින් සෑදුණු ප්‍රපාතාකාර දඹ පහසුවෙන් ඛාදනය වන හෙයින් ඒවා කොන්ක්‍රීට් බැමි වැනි දේ යොදා ආරක්ෂා කිරීමට සිදුව ඇත. එහෙත් තෙත් දිනවල මේවා ගරා වැටීම සිදු වේ. ලංකාවේ ත්‍රිකුණාමලයේ ස්වාමි ගල අසලද,රූමස්සලද දඹ භූ රූප වලට නිදසුන්ය.

2.මුහුදු ගුහා (sea cave)


මුහුදු ගුහාවක් නිර්මාණය වන්නේ වෙරළ ආශ්‍රීතව ප්‍රතිරෝධක පාෂාණයක් ඇති විටය. මේ පාෂාණයට නිරන්තරයෙන් රළ වැදී බිඳීම හේතුවෙන් ඛාදනය වීම ඇරඹේ. මෙසේ කලක් ඛාදනය වන විට ගුහාවක් ආකාරයට සාගර ජල මට්ටටමට අනුව ඛාදනය වීම දැකිය හැක. මෙම ගුහාවල වහළ කඩා වැටීම නිසා ඒවා ප්‍රමාණයෙන් හා උසින් වැඩි වේ. වා සිදුරක් තව දුරටත් වර්ධනය වීම නිසාද මුහුදු ගුහාවක් සෑදේ. වඩදිය බාදිය ඇති වීමේ ප්‍රබලතාවය අනුව මෙම ගුහා හොඳින් නිර්මාණය වේ. එමෙන්ම සාගර ජල මට්ටම අඩු වූ විට එවන් ගුහා වලට ඇතුළු විමටත් හැක.

3.වා සිදුර (උම්මාන / හුම්මාන/ ග්ලුප්)(spouting horn)


මේ භූ රෑපය ඉතාම සුන්දර වුත් විරල වුත් එකක්. වෙරළ ආසන්න ප්‍රතිරෝධක පාෂාණයක ඉංග්‍රිසි හොඩියේ ‘L’ අකුරක හැඩයේ සිදුරක් සැදීම නිසා මේ වැන්නක් නිර්මාණය වනවා. ඒමෙන්ම මුහුදු ගුහාවක් නිර්මාණය වී ඊට පසුව තමයි මෙය සැදෙන්නේ. නමුත් සෑම මුහුදු ගුහාවක්ම වාසිදුරක් සාදන්නේ නෑ.

මේ වගේ සිදුරකට වතුර පහරක් වේගයෙන් වැදුණහම එය වතුර උඩට වීසි කරන්නේ පීඩනය හා වේගය නිසායි. මේ භූ රූපය පැහැදිලි කරන්න පුළුවන් තවත් උදාහරණයක් තමයි ‘ලී කුඩු ලිප’. කවදා හරි එකක් හදලා පත්තු කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් ඒ ඇසුරෙන් මේක තේරුම් ගන්න. ලි කුඩු ලිපේ ගින්දර දාන්නේ අන්න එතනට තමයි මේ කියන වා-සිදුරේ රළ පහර වදින්නේ. හුම්මානේ වේගයෙන් රළ පිටතට එන්නේ ලිපේ ගින්දර එන තාලෙටම තමා.

මෙවැනි හුම්මානයක් ලංකාවේ දකුණු පලාතේ කුඩා වැල්ල ප්‍රදේශයේ ඇත. තවත් හුම්මාන ලෝකයේ විවිධ තැන් වල තිබේ. ඒ අතර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වල ඇති හුම්මානයත් තිබේ.

4.ආරුක්කුව (Arch)


ඉතාම ඉක්මනින් විනාශ වන දුර්ලභ භූ රූපයකි. මෙය කාන්තාර ප්‍රදේශ වල සුළං ඛාදිත භූ රූපයක් ලෙසින්ද දැකිය හැක. තුඩුවක් පැත්තෙන් ඛාදනය වීම නිසා මෙය සෑදේ. නිර්මාණය වීමට දිගු කලක් ගත වන අතර ප්‍රතිරෝධක පාෂාණයක් මැදිව පවතින දුර්වල පාෂාණ කොටස් නිසා බොහෝ විට සෑදේ.

පෘතුගාලයේ අගනුවර ලිස්බන් මෙවනි ආරුක්කුවක් දැකගත හැක. ස්පාඤ්ඤයටත් අත්ලාන්තික් සාගරයටත් මැදිව පිහිටා ඇත.

5.මුහුදු කුළු (sea stack)


ආරුක්කුවේ කඩා වැටුණු විට එහි ඉතුරුවන තුඩුවේ ඉදිරිපස කෙළවර මුහුදු ජලයෙන් උඩට මතුවීම නිසා මුහුදු කුළු නිර්මාණය වේ.එංගලන්තයේ දකුණු හා බටහිර වෙරළේ සුලභව ඇත.ලංකාවේ සීනිගම දේවාලය පිහිටා ඇති ස්ථානයද මේ සඳහා නිදසුනකි.

6.බොක්ක (Bay)


දිගු කාලයක් තිස්සේ භූමිය ඛාදනය වීම නිසා භූමිය / ගොඩබිම දෙස කා වැදුණු නැතහොත් හෑරී ගිය වෙරළ ලක්ෂණයක් වේ. බොක්කක් එහි ගැඹුර නිසා වෙනස් වේ. ස්වභාවිකවම සකස් වන ගැඹුරු බොකු ලෝකයේ සුප්‍රසිද්ධ එමෙන්ම ආරක්ෂිත වටිනා වරායන් වේ. නිදසුන්: ලංකාවේ ත්‍රිකුණාමලය, ආරුගම් බොක්ක, ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්ක, ඒඩන් බොක්ක, අරාබි බොක්ක වෙරළ ඛාදනය නිසා මෙවනි භූ රූප අපට දැක ගැනීමට හැක.

අප රටේ ද ඛාදනය හේතු කොටගෙන නිර්මාණය වුනු මෙ වැනි ලක්ෂණ වෙරළ බඩ ප්‍රදේශ වලින් දැක බලා ගැනීමට හැක. මුහුදු රළ නිසා එයින් ඇතිවන පීඩනයේ වෙනස නිසා මෙවැනි වෙරළ ඛාදිත භූ රූප ලොව පුරා ඇතැම් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල දැක ගැනීමට හැකියාව ඇත.

මේ සිතියමේ බලන්න කට ඇරිලා තියෙන්නේ එක පැත්තකින් විතරනේ. අනික් පැති තුනෙන්ම වටේට ගොඩ බිම.මේ තියෙන පිංතුරේ තියෙන්නේ බොක්කක්. එකෙන් වටහා ගන්න පහසුයි බොක්කක සැබෑ ස්වරූපය.

මේ වෙරළ ඛාදිත හා නිධි සාදිත භූ රෑප චිත්‍රපට සදහා බොහෝවිට පසුබිම් වනවා. විශේෂයෙන් ම ඉන්දියානු චිත්‍රපට ගීත පසුබිම් සදහා බොහෝ විට නොයෙක් වෙරළ පසුබිම් වෙනවා. ඒ ගැන අවධානයෙන් සිටියොත් ඔබට එම පසුබිම් එක්ක මේ භු රූප බොහෝමයක් දකින්න පුළුවන්.

ඊ ළඟ ලිපිය වෙරළ නිධිසාදනය ගැනයි.
තොරතුරු සහ ඡායාරූප - අන්තර්ජාලය ඇසුරිනි.

- ඉමන්සලා උදේශානි -

Share:

Saturday 27 June 2020

The Ocean


'The Ocean' by Minduli Perera

Share:

Wednesday 24 June 2020

නීල ආර්ථිකය ( පළමු කොටස) - Blue Economy



නීල ආර්ථිකය යනු කුමක්ද ?

සාගර හා සමුද්‍ර සම්පත් ආර්ථික අරමුණු සඳහා තිරසාර ලෙස භාවිතා කිරීම.

නීල ආර්ථිකයේ වැදගත්කම

නීල ආර්ථිකයේ මූලිකාංගය වන්නේ සාගරයයි.ඇත්තෙන්ම එය නීල ආර්ථිකයේ ජීවනාලියයි.අප කවුරුත් දන්නා පරිදි සාගරය පෘථිවි පෘෂ්ඨයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක පැතිර පවතී. නමුත් මෙයින් මෙතෙක් ගවේෂණය කොට පරිභෝජනයෙහි යෙදෙන්නේ 5% - 7% පමණ සුළු ප්‍රමාණයක බව ඔබ දැන සිටියේ ද?


ලෝකය තුළ තාක්ෂණයේ සිදුවන සීඝ්‍ර දියුණුව හා ගුවන් ගමන් ක්ෂෙත්‍රයේ ඉහළ දියුණුවක් පැවතියත්, වර්තමානයේ පවා ගෝලීය වෙළෙඳාමෙන් 80% ක පමණ ප්‍රමාණයක් සාගර ආශ්‍රිතව සිදුවෙමින් පවතී.ඇත්තෙන්ම මෙයින් පැහැදිලි වන්නේ, රටක ආර්ථිකයේ මූලික අංගයක් වන වෙළෙඳාමට පවා මෙම සාගරය සෘජුව බලපෑම් සිදුකර හැකි වන බවයි.

මිනිසාගේ නොහික්මුණු ගති පැවතුම්, ඔවුන්ගේ තාක්ෂණික නිෂ්පාදන, කර්මාන්ත, සෞඛ්‍යරක්ෂිත නොවන පරිසරයට අහිතකර නිපැයුම්, නිසා වර්තමානය වන විට පෘථිවි ගොඩබිම් සම්පත් විනාශ වෙමින් පවතී.ඇත්තෙන්ම මෙය දීර්ඝ කාලයක් පුරා ඉතිහාසයේ සිදුවෙමින් පවතින අතර, වර්තමානය වන විට ගෝලීය උණුසුම ඉහළ යාමටත් කාලගුණික දේශගුණික වෙනස්කම් ඇති කිරීමටත් හේතු වී ඇත.

මෙවැනි කරුණු නිසා වර්තමානය වන විට අප පෘථිවි ගොඩබිම් සම්පත් සීමිත වී ඇති අතර ඒ සඳහා තරගකාරීත්වය ද වැඩි වී තිබේ. රටක (ලෝකයේ ) ආර්ථිකය මනාව පවත්වා ගැනීම සඳහා ස්වභාවික සම්පත් වල අවශ්‍යතාවය අනාගතයේ දී දැඩිව දැනෙනු ඇත. මේ නිසාමදෝ වර්තමානය වන විට බොහෝ විද්වතුන් , උගතුන් ගේ ආකල්පය වී ඇත්තේ අනාගතයේ ලෝකය තුළ සාගර මුල්කරගත් යුගයක් ඇති කිරීමත් එමගින් නීල ආර්ථිකය ලෝ පුරා පවත්වා ගැනීමත් ය.

මෙහි මූලාරම්භයක් ලෙස එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා න්‍යාය පත්‍රය ඉදිරි පහළොස් වසරක් සඳහා මූලික කරුණු 17කින් යුතුව වසර 2015 දී යෝජනා කෙරුණි.

මෙහි පැවති මූලික සංකල්පයක් වූයේ " life below water" ජලය තුල ජීවයයි.
මේ යටතේ ඔවුන් සඳහන් කරනු ලැබූයේ , තිරසාර සංවර්ධනය සඳහා සාගර, මුහුදු, සමුද්‍ර සම්පත් සංරක්ෂණය හා තිරසාර ලෙස භාවිතා කිරීමයි. ඇත්තෙන්ම මෙය පෙර නිර්වචනය කළ පරිදි නීල ආර්ථිකයේ පදනමයි.

සංජය තිලකරත්න


Share:

Thursday 18 June 2020

ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය - Sri Lanka's first underwater museum



දිය යට කෞතුකාගාරයක් ඉදිකිරීම කෙතරම් විශ්මය ජනක ද? 

ලෝකයේ විවිධ රටවල දිය යට කෞතුකාගාර  දැකගත හැකි වුවත් අපට එය තවදුරටත් අළුත් අත්දැකීමක් නොවෙනු ඇති. ඒ, 2020 අප්‍රේල් 05 වන දින දිය යට බිහිවූ ලංකාවේ ප්‍රථම කෞතුකාගාරය විවෘත වීමත් සමඟයි.


ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ගාලු මුහුදු තීරයේ ගාලු වරාය තුළ අඩි 50ක පමණ ගැඹුරින් මෙම දිය යට කෞතුකාගාරය ඉදිකර ඇත.  ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ඉදිවුණු මෙම කෞතුකාගාරය තවත් විශේෂ වන්නේ එහි තැම්පත් කර ඇති සියළුම මූර්ති නාවික හමුදා භටයින් විසින් නිර්මාණය කර ඇති බැවිනි. කෞතුක වස්තු, ඵලක/පුවරු හා මූර්ති විශාල එකතුවක් මෙහි දී දැක ගත හැක.


සිමෙන්ති සහ පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම සුවිශේෂී මූර්ති නිර්මාණය කර ඇත.

ළමා, වැඩිහිටි, පළපුරුදු හෝ ආරම්භක කිමිදුම්, ස්කූබා කිමිදුම් හෝ සාමාන්‍ය පිහිනුම් ශිල්පීන් ඇතුළු ඕනෑම අයෙකුට මෙම සුවිශේෂී දර්ශනීය අත්දැකීම ලබා ගත හැක.

කොරල් පුනර්ජනනය සහ මත්ස්‍ය අභිජනනය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත. අළුතින් එකතු වන කොරල් කාලයත් සමඟ කෘතිම කොරල් පරයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර එමඟින් එම ප්‍රදේශයේ සාගර ජීවීන්ගේ ප්‍රවර්ධනය මෙන්ම කෞතුකාගාර උද්‍යානයට ද එය අලංකාරයක් එකතු කරනු ඇති. මෙම භූමියේ මත්ස්‍යය අභිජනනය දැනටමත් ආරම්භ වී ඇති බවට සාක්ෂි ඇති අතර අභිජනනය ආරම්භක අවධියේ දී මසුන් ඇල්ලීමේ කටයුතු වලින් වැළකෙන ලෙසට එහි ධීවර ප්‍රජාවට උපදෙස් ලබා දී ඇත. මසුන් බෝ වීම සිදුවූ පසු ධීවරයින් හට එහි වාසිය අත්පත් කර ගත හැක.


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද නවමු මුහුණුවරක් ලබා දීමට මෙම දිය යට මූර්ති උද්‍යානය විශාල දායකත්වයක් ලබා දෙනු නිසැකය. නුදුරේදී ම සංචාරකයන් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් සඳහා ඉඩකඩ ලැබෙනු ඇති.


ලංකා ඉතිහාසයට තවත් ⁣⁣ෛඑතිහාසික දිනක් එකතු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මෙම ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරිනි. පරිසර හිතකාමී සහ සාගරය සම්බන්ධ තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් වශයෙන් අප රටට, ආර්ථිකයට හා සාගර ජීවී සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය ඉමහත් රුකුලක් වනු නොඅනුමානයි.

මාධවී ජයසේකර



Share:

Wednesday 17 June 2020

සියම් දේශයේ සුන්දර සටන්කාමියා... Fighter fish -Part 2

බෝකර ගන්නේ කෙසේද ? 

සුරතල් මත්ස්‍යයන් අභිජනනය ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් අභිජනනය සිදු කළ හැකි මත්ස්‍ය විශේෂයක් ලෙස fighter fish හදුන්වා දිය හැක...හේතුව නම් මෙම මත්ස්‍ය විශේෂය මා පිය රැකවරණය(parental caring) සහිත මත්ස්‍ය විශේෂයක් වීම මෙන්ම පහසුවෙන් ගැහැණු මසුන් හා පිරිමි මසුන් හඳුනා ගත හැකි වීමයි...

සුදුසු මව් සතුන් තෝරා ගැනීම..

ගුණාත්මක බවින් ඉහළ පැටවුන් ලබා ගැනීම සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු මව් මසුන් තෝරා ගැනීම ඉතා වැදගත් වේ..මේ සඳහා නීරෝගී ( බාහිර තුවාල, කොරපොතු හැලීම්, වරළ් කැඩීම් වලින් තොර ) පිරිමි හා ගැහැණු මසුන් දෙදෙනකු තෝරා ගත යුතුය...මෙහිදී පිරිමි මත්ස්‍යයා, ශරීර ප්‍රමාණයෙන් ගැහැණු මත්ස්‍යයාට සාපේක්ෂව විශාල වන සේ තෝරා ගත යුතුය...

ගැහැණු හා පිරිමි මත්ස්‍යයන් හඳුනා ගන්නේ කෙසේද ?

Male fighter fish

Female fighter fish

හොඳින් වැඩුණු පිරිමි මත්ස්‍යයකු ගේ වරළ් දිගින් හා විශාලත්වයෙන් වැඩි අතර ගැහැණු මත්ස්‍යයාගේ වරළ් සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වේ.. එසේම පිරිමි මත්ස්‍යයා තරම් සිත් ඇද ගන්නා පෙනුමක් ද ගැහැණු මත්ස්‍යයාට නැත.( මේ නිසාම වෙළඳ පොළේ වැඩි මිලකට අලෙවි වන්නේ පිරිමි මත්ස්‍යයන් වේ...

අභිජනනය සඳහා සූදානම් කරන්නේ කෙසේද ?

ඔබ තෝරාගත් fighter මත්ස්‍යයන් දෙදෙනා පළමුව සුදුසු පරිමානයේ ටැංකි දෙකක් තුල වෙන වෙනම තබා හොඳින් අහාර ලබා දිය යුතුය...මෙහිදී ප්‍රෝටීන් ආදී පෝෂක අධික අහාර වේලක් ලබා දීම මගින් මත්ස්‍යයන් හට අභිජනනය ක්‍රියාවලිය අතර තුර අවශ්‍ය ශක්තිය ලබා දෙනවා මෙන්ම කුඩා පැටවුන් ආහාරයට ගැනීමද වැළැක්වීමට හැකියාව ලැබේ...සජීවී ආහාර වඩාත්ම සුදුසු වන අතර, මේ සඳහා මදුරු කීටයන්, කුඩා පණුවන් මෙන්ම වෙළඳ පොළේ ඇති පෝෂණ ගුණයෙන් ඉහළ කෘත්‍රිම අහාර වුවද ලබා දිය හැක..අවම සති දෙකක කාලයක් මෙලෙස ආහාර ලබා දීම සිදු කළ යුතු අතර මසුන්ගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි ද අවධානය ලබා දිය යුතුය...

අභිජනන ටැංකිය සූදානම් කරන්නේ කෙසේද ?


මේ සඳහා ගැලුම් 10 පමණ වන සෘජුකෝණාස්‍රාකාර හැඩයේ වීදුරු ටැංකියක් වඩාත් සුදුසු වේ...අභිජනනයට දින 10 කට පමණ පෙර මෙය සූදානම් කළ යුතු අතර උණුසුම් ජලයෙන් පමණක් ටැංකිය සේදීම සුදුසු ය...ටැංකියේ පතුලට විසිතුරු ගල් විශේෂ එක් නොකළ යුතු අතර සෘජු ඉර එළිය නොවැටෙන බාහිර බාධා වලින් තොර ස්ථානයක් මේ සඳහා තෝරාගත යුතුය...එසේම පාවෙන ආකාරයේ ජලජ පැළෑටි කිහිපයක් එක් කිරීමද වැදගත් වේ...

අභිජනනයට සියල්ල සූදානම්! 

හොඳින් සූදානම් කළ මව් සතුන් දෙදෙනාගෙන් අප පළමුව අභිජනන ටැංකිය වෙත හදුන්වා දෙන්නේ පිරිමි සත්ත්වයා ය. ඉන්පසු ගැහැණු සත්ත්වයා සුදුසු විනිවිද පෙනෙන තවත් බදුනක දමා එම ටැංකියේම පිරිමි මත්ස්‍යයාට පෙනෙන ආකාරයට තබයි...( මේ සඳහා වීදුරු ජෑම් බෝතලයක් යොදාගත හැක)

මොකක්ද මේ පෙණ කූඩුවක් හදලා තියෙන්නේ? 


Fighter මසුන් මෙලෙස එකිනෙකා හොඳින් දර්ශනය වන සේ තැබූ විට පිරිමි මත්ස්‍යයා විසින් පාවෙන ජල පැළෑටි වල උදව්වෙන් පෙණ කූඩුවක් සාදා ඇති බව ඔබට දැකගත හැක...මේ අවස්ථාව වන විට ගැහැණු මත්ස්‍යයා ද බිත්තර නිපදවීම ආරම්භ කර ඇති අතර තරමක් පිම්ඹුණු උදරයක් දැකගත හැක..

ගැහැණු සතා අභිජනනය ටැංකියට දාන්නේ මොන වෙලාවට ද?

සාමාන්‍යයෙන් දින දෙකක් පමණ ගත වන විට පිරිමි මත්ස්‍යයා පෙණ කූඩුව ඉතා විශාලව සාදා ඇති අතර තව දුරටත් එය සෑදීමේ යෙදේ..හොඳින් නිරීක්ෂණය කළහොත් මේ වන විට ගැහැණු මත්ස්‍යයාගේ උදරය දෙපස ඉරි ආකාරයක්( vertical stripes) දැකිය හැකි අතර හොඳින් පිම්ඹුණු උදරය, බිත්තර නිපදවීම අවසන් බව පෙන්නුම් කරයි.. මේ අවස්ථාවේ දී ගැහැණු මත්ස්‍යයා ද පිරිමි මත්ස්‍යයා සිටින ටැංකියටම නිදහස් කිරීම කළ යුතුය..දැන්...අභිජනනය සිදුවේ
මෙම අවස්ථාව වන විට අභිජනන ටැංකිය අදුරේ තැබිය යුතු අතර බාහිර බාධා නොතිබිය යුතුය..පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයා හඹා යාම සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී වරළ් වලට හානි වීම් ද සිදුවිය හැක..මෙම හඹා යාමේ අවධිය අවසානයේ ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයා වෙත පිහිනා යයි... ඉන්පසු පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයා තෙරපීම මගින් බිත්තර නිදහස් කිරීම සිදුවන අතර එය පැය කිහිපයක් දක්වා සිදුවන ක්‍රියාවලියකි...මෙම බිත්තර ජලයේ ගිලෙන (sinking eggs) අතර පිරිමි මත්ස්‍යයා විසින්ම මේවා පෙණ කූඩුව මත තැම්පත් කිරීම ද සිදු කරයි...

ගැහැණු මත්ස්‍යයා ඉවත් කරන්නේ මොන වෙලාවට ද?



බිත්තර නිදහස් කිරීමේ ක්‍රියාවලිය අවසාන වූ විට පිරිමි මත්ස්‍යයා නැවතත් ගැහැණු මත්ස්‍යයා පසුපසින් එළවීම දක්නට ලැබේ...මෙම අවස්ථාවේ දී ගැහැණු මත්ස්‍යයා ටැංකියෙන් ඉවත් කර ගත යුතු අතර නැතහොත් මරා දැමීමට පවා ඉඩ ඇත..

පිරිමි මත්ස්‍යයා ගේ රැකවරණය ?

බිත්තර තැම්පත් කර ඇති කූඩුව තව දුරටත් වැඩි දියුණු කිරීම මෙන්ම පෙණ බුබුළු බිඳ වැටීම නිසා ගිලෙන බිත්තර නැවතත් කූඩුවේ තැම්පත් කිරීම ආදී බොහෝ වැඩ කොටසක් සිදු කරනු ලබන්නේ පිරිමි මත්ස්‍යයා විසිනි..තවත් පැය 24 - 48 ක පමණ කාලයකට පසු අලුත උපන් කුඩා පැටවුන් බිත්තර තුලින් එළියට පැමිණීම දැකගත හැක..මේ වන විටත් ඉතා කර්‍යබහුල වූ පිරිමි මත්ස්‍යයා කුඩා පැටවුන් නැවත කූඩුවේ තැම්පත් කිරීමට තනිව සටන් කරයි..

අලුත උපන් පැටවුන් රැකබලා ගන්නේ කොහොමද ?

බීජාන්‍ය මඩිය ( yolk sac ) සහිතව උපත ලබන මෙම කුඩා පැටවුන් හට පළමු දින 2- 3 ක් පමණ වන තෙක් කිසිදු ආහාරයක් බාහිරින් ලබා දීම අවශ්‍ය නොවේ..දින දෙකක් පමණ වන විට නිදහසේ පිහිනා යන අවධියට(free swimming larvae) මොවුන් පැමිණේ..මේ අවස්ථාව වන විට පිරිමි මත්ස්‍යයා ද ඉවත් කිරීම කළ යුතු අතර ඔහුගේ කර්‍ය එයින් අවසන් වේ..ඉන් අනතුරුව පළමු ආහාරය ලෙස තම්බාගත් බිත්තර කහ මදය( egg yolk) සුලු ප්‍රමාණයක් බැගින් දිනකට වේල් 2-4 ත් අතර ලබා දිය හැක..දින කිහිපයකට පසු artemiaහෝ micro worm ලබා දිය හැකි අතර ජලයේ ගුණාත්මක බව කෙරෙහි ද සැලකිලිමත් විය යුතුය..සජීවී ආහාර ලබා දීම කුඩා පැටවුන්ගේ ඉක්මන් වර්ධනයට උපකාරී වේ...සති 5 ක් පමණ වූ කුඩා පැටවුන්ගේ ගැහැණු හෝ පිරිමි බව ඔබට පහසුවෙන් නිරීක්ෂණය කළ හැක...සති කිහිපයක් වූ පැටවුන් හට ක්‍රමයෙන් කෘත්‍රිම ආහාර ද හුරු කරවිය හැකි අතර දිනකට ලබා දෙන ලද වේල් ගනණ ක්‍රමයෙන් අඩු කර අවසානයේ ආහාර වේල් 2 ක් පමණක් ලබා දිය හැක....මාස 4ක් පමණ වූ පැටවුන් ඔවුන්ගේ මා පියන් මෙන්ම ආක්‍රමණයශීලී ගති පැවතුම් පෙන්නුම් කරනු ලබන අතර මේ අවස්ථාවේ දී පිරිමි මත්ස්‍යයන් පමණක් තනි තනිව වෙන් කිරීම සිදුකල යුතුවේ...
ඔබත් උත්සාහ කර බලන්න..පහසුවෙන්ම අභිජනනය කළ හැකි සියම් දේශයේ සුන්දර සටන්කාමියා හෙවත් කවුරුත් දන්නා "fighter fish" ලිපි පෙළ කියවූ ඔබ සැමට ස්තුති...!! 


රචනය - අකීෂා ප්‍රභාෂ්වි

Share:

Tuesday 16 June 2020

පෘථිවි තලයෙන් 70%ක් පමණ වැසී ඇති සාගරය ඇත්තටම අපිට වැදගත් ද? - Why ocean really matters ?

පෘථිවි තලයෙන් 70%ක් පමණ වැසී ඇති සාගරය ඇත්තටම අපිට වැදගත් ද? අපි ඒ ගැන සොයා බලමු.


මුහුද දිගේ ලෝකේ වටේ රජ ගමනකට


අහස් යාත්‍රාවට පෙර ලොව රටකින් තවත් රටකට යාමට තිබූ එකම ක්‍රමය වූයේ මුහුදු මාර්ගය හෙවත් නැව් ගමනාගමනයයි. ජෙට් ගුවන් යානා ජනප්‍රිය අද කාලයේ වුවද නාවික ගමනාගමනයේ ඇති වැදගත්කම අඩු වී නැත. නමුත් අද නාවික ගමනාගමනය සංචාරක ව්‍යාපාරය හා තදින් බද්ධ වී තිබේ. මේ නිසාම අති සුඛෝපභෝගි නැව් සංචාරක ක්ෂේත්‍රය තුළට පිවිස තිබේ.මුහුද යනු මිනිසාට ලාබදායිම ප්‍රවාහන මාධ්‍යයකි. මහද්වීප තරණය කරමින් බඩු බාහිර ප්‍රවාහනය කරන සුවිසාල නැව් තිබේ. මඟීන් දහස් ගණනක් එකවර රැගෙන යන මඟී නෞකා ද තිබේ.


මහ සයුරේ සුව කිරීමේ බලය



සාගරය ඖෂධ ගබඩාවක් ලෙස අර්ථ දැකවුවහොත් එය ඉතා නිවැරදය .වර්තමානයේ බෝ නොවන රෝග ලෙස වෙද්‍යය ක්ෂේත්‍රය තුලත් පොදු ජනයා තුලත් දැඩි අවදානයක් දිනා සිටින පිළිකා,හදවත් රෝග ,ආතරයිටීස් ආදී රෝග සඳහා ඖෂධ රැසක්ම නිපදවනු ලබන්නේ සාගරයෙන් ලබාගන්නා ඖෂධ පැළෑටි වලිනි.නූතයේ සිදුකරන ලද පර්යේෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට සාගරයේ සිටින ජීවීන් තුල ප්‍රති පිළිකා හා ප්‍රති ජීවක ගුණ ඉතා ඉහළ මට්ටමකින් ඇති බව වාර්තා වේ.සාගරය ගැඹුරේ මෙවැනි ජෙව ගෝලයේ පැවත්මට දායක විය හැකි මුහුදු ජීවීන් හා පැළෑටි කොතරම් සැගවී ඇතිද?
මුහුදු ජලයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැයිස්තුව නිමක් නැති තරම්ය.
එය ඔබේ මනෝභාවයට යහපත් වන අතර එය ඔබේ සෞඛ්‍යය නංවනු ඇත. මුහුදු ජලය නොකරන එකම දෙය අපගේ ශරීරය හයිඩ්‍රේට් කිරීමයි. එහෙත් එහි ඇති අතිමහත් ප්‍රතිලාභ හා සසඳන විට එය අවාසියක් නොවේ.
ඔබ වෙරළ තීරයේ ජීවත් වන්නේ නම් හෝ වෙරළබඩ ප්‍රදේශවල වැඩි කාලයක් ගත කරන්නේ නම්, මුහුදු ඉසින වෙරළට අප කොතරම් පිළිගැනීමක් ලබා දෙනවාදැයි ඔබ දන්නවා.
1. මුහුදු ජලය ඔබේ සම පිරිසිදු කරයි.
2. මුහුදු ජලය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
3. මුහුදු ජලය රූමැටික් රෝගයේ වර්ධනය මන්දගාමී කරයි
4. මුහුදු ජලය: ඔබේ නින්දට, හුස්ම ගැනීමට, මහා අන්ත්‍රය, අස්ථි, අක්මාව සහ වකුගඩු සඳහා හොඳයි.
5. මුහුදු ජලය හුස්ම ගැනීම වැඩි දියුණු කරයි.
6. අක්මාව හා වකුගඩු ආබාධ සමඟ සටන් කිරීමට මුහුදු ජලය උපකාරී වේ.
10.මුහුදු ජලය නින්ද නොයාම වළක්වන අතර මානසික අවපීඩන රෝග ලක්ෂණ අඩු කරයි
එය රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් කිරීමට උපකාරී වන බැවිනි.

මුහුදු රැල්ලෙන් දේශගුණයත් පාලනය කරනවද?

ඔබ අප නිසා දිනෙන් දින උණුසුම් වන වායුගෝලයේ ඇති උණුසුමෙන් වැඩි ප්‍රමාණයක් උරාගන්නා සාගරය මෙම තාපය පෘථිවි තලය පුරා එකාකාරී ව ව්‍යාප්ත කිරීමට ද දායක වේ.මේ සඳහා සාගර රළ උපයෝගී වන අතර කාබන් රඳවා ගන්නා ප්‍රධාන මූලාශ්‍රයක් ලෙසින් ද ක්‍රියා කරයි.තවද ජල චක්‍රය පවත්වා ගැනීමට ද විශාල මෙහෙවරක් සාගරය මගින් ඉටු කරයි.

සැගවුනු ආහාර ගබඩාවක් ලු...

ජීවී විවිධත්වයෙන් 80%ක් ම මේ මහා සාගරය මත රඳ පවතී..එසේම මිනිසාගේ සත්ත්ව ප්‍රෝටීන අවශ්‍යතාවයන්ගෙන් වැඩි ප්‍රමාණයක් කරිදිය මසුන් මගින් සපයා ගනී.

එපමණක් නොවේ...කරිදිය පැළෑටි, වෙනත් සත්ත්ව විශේෂ ආදිය ද මිනිසාගේ ආහාර බවට මේ වන විට පත් වී ඇත.

මුහුද නිසාලු අපි හුස්ම ගන්නේ

ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ඔක්සිජන් වායුවයි. එම ඔක්සිජන් වලින් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් නිපදවීම සදහා සාගර ය දායක වෙනවා යයි පැවසුවොත් ඔබ පුදුම වන්නේ ද? එපමණ ක් නොව අපි පිට කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් වායුගෝලය මෙන් පනස් වාරයක්ම රඳවා ගන්නා ගන්නා මූලාශ්‍රය වන්නේත් මේ මහා සාගරයයි.

ලොවම දියුණු කරන සමුදුරේ ජීවිකාව

වෙරළබඩ හා සමුද්‍රීය සංචාරක, ජලජීවී වගාව, පුනර්ජනනීය බලශක්තිය, ඛනිජ සම්පත්, ජෛව තාක්‍ෂණය, ධීවර, නැව් තැනීම සහ නැව් අළුත්වැඩියා කිරීම, තෙල් හා ගෑස් ලබාගැනීම සහ ප්‍රවාහන. ඇත්ත වශයෙන්ම, ලෝක වෙළඳාමෙන් 90% ක්ම සිදු කරනු ලබන්නේ මුහුදෙනි.
සාගරයෙන් ධීවරයින්, ජීවිතාරක්ෂකයින්, සර්ෆ් උපදේශකයින්, වරාය, (නොමිලේ) කිමිදුම් පාසල්, සමුද්‍ර පාදක සංචාරක ක්‍රියාකරුවන්, ජල ක්‍රීඩා ව්‍යාපාර, නිවාඩු නවාතැන් සහ ඇත්ත වශයෙන්ම සාගර නාවිකයින්ට රැකියා ලබා දෙයි.

මුහුද සුරකින්න ඕන මම විතරයි ද?

සාගරය ඔබ අප කාටත් හිමිව ඇති අප කාටත් වැදගත් ස්වභාවික සම්පතකි.එවන් සම්පතක් සුරැකීම අප වැනි බුද්ධිමත් ජනතාවකගේ වගකීමකි.අප තනි තනිව සිතා මෙම කාර්‍යට දායකත්වය දැක්වීමෙන් මේ මහා සාගරය සුරක්ෂිත කර ගැනීමට අපට හැකිය.

රචනය
• අකීෂා ප්‍රභාශ්වි
• ඉමන්සලා උදේෂානි
• සංජය බංඩාර
• ශෂිනි විජේකෝන්
• ගයාත්‍රි කෞෂල්‍යා

Share:

මුහුදු පත්ලේ සැඟවුණු අභිරහස් ස්ථාන - Mysterious underwater places hidden in the ocean



සාගරයේ සැඟවුණු රහස් බොහෝමයි.තවමත් අනාවරණය කරනොගත් බොහෝ දෑ සාගරයේ සැඟවී තිබෙනව.සාගර ගවේෂණකයන්ට කුතුහලය දනවන ඉතා ආකර්ෂණීය ස්ථාන කිහිපයක් මේ ලිපියේ දැක්වේ.බලන්න..මින් පෙර ඔබත් මේ ස්ථාන දැක තිබුණාද කියා...

යොනාගුනී ස්මාරකය

ජපානයේ පිහිටා ඇති මෙම ස්මාරකය1987 වසරේදී සොයාගන්නා ලදී.මෙය වසර 5,000-10,000 තරම් පැරණි බව සොයා ගත්තද එය ස්වභාවික පිහිටීමක්ද,මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් ද යන්න සැකයකි.පුරාවිද්‍යාඥයන්පවසන්නේ මෙවැන්නක් නිර්මාණය කිරීමට තරම් එකළ තාක්ෂණය දියුණු වී නොතිබුණු නිසා මෙය ස්වභාවික පිහිටීමක් බවයි.සැබවින්ම මෙහි සත්‍ය කුමක්ද?එය තවමත් අභිරහසකි.

ගිලීගිය නගරය - ද්වාර්කා

Sunken city of Dwarka

ඉන්දියාවේ ගුජරාටයේ බටහිර දෙසට වන්නට වූ මුහුදු පත්ලේ පිහිටා ඇත.විද්‍යාඥයන් විසින් 2002 වසරේදී මෙම පැරණි නගරය සොයාගෙන ඇත.ඉන්දියානු ශිෂ්ටාචාරය වසර 4000ක් පමණ පැරණි යයි සැළකුවද,මෙම නගරයේ තිබී සොයාගත් මැටි බඳුන් හා ආභරණ වැනි දෑ වසර 9500ක් තරම් ඉපැරැණි බව සොයාගෙන ඇත.හින්දු සංස්කෘත සාහිත්යයේ එන ක්‍රිශ්ණා දෙවියන් ද වරක් මෙවැනි ස්ථානයකට ගොස් ඇති බව සඳහන් වේ.

මුහුද පතුලේ ගඟක්

ඇසූ පමණින්ම විශ්වාස කරන්න අමාරුයි නේද?නමුත් කළු මුහුදු පත්ලේ ගලා යන ගඟක් පිළිබඳව සොයා ගැනීමට ගැඹුරු මුහුදු කිමිදුම්කරුවන් සමත් වී තිබෙනවා.ගොඩබිම ඇති සාමාන් ය ගඟක සියලු ලක්ෂණ මෙහි අන්තර්ගත වන අතර දියඇල්ලක් හා ඒ ආශ්‍රිත ශාක වලින් ද සමන්විතයි.මෙය ගොඩබිම ගලාගියේ නම් ධාරිතාව අනුව ලොව 6 වැනි විශාලම ගංගාව මෙය වනු ඇත.

සඳ ගමනට ගිය ඇපලෝ 11


ෆ්ලෝරීඩාහි වෙරළෙන් ඔබ්බට වූ අඩි14,000ක් පමණ ගැඹුරු මුහුදේ ඇපලෝ 11 මෙහෙයුමේදී නීල් ආම්ස්ට්‍රොන්ග් අභ්යවකාශයට දියත් කළ සැටර්න් V(Saturn V) රොකට්ටුවේ එන්ජින් හමුවී ඇත.වසර 43ට පසු මෙම සොයාගැනීම සිදු කරන ලද්දේ ජෙෆ් බෙසොස් විසිනි.

මුහුදු ප්රතිමා උද්‍යානය

බටහිර ග්රෙනේඩාහි ඇති මෙම අපූරු සාගර උද්‍යානය අඩි 14ක් පමණ වූ නොගැඹුරු මුහුදේ කෘත්‍රිම ව සකස් කර ඇත.කිමිදුම්කරුවන්ට මෙන්ම නරඹන්නන්ටද බෝට්ටු මඟින් පහසුවෙන් ළඟා වී නිරීක්ෂණය කළ හැකිය.ඡායාරූපයේ දැක්වෙන පිළිම 26 කින් යුත් ළමා කවය;අප්‍රිකාවේ සිට ඇමෙරිකාව දක්වා අප්‍රිකානු වහලුන් රැගෙන යාමේදී ඔවුන් යාත්‍රාවෙන් ඉවතට දමා ඇති අතර ඔවුන් සංකේතවත් කරමින් එය නිර්මාණය කර ඇත.මෙහි යතුරු ලියන ක්‍රියාකරවන්නෙකු,බයිසිකල්කරුවකු වැනි පිළිම ද දක්නට ඇත.කෙතරම් ආකර්ෂණීය උද්‍යානයක් වුවද අද වන විට මෙහි ඇති පිළිම ඇල්ගී,බාර්නකල් වැනි මුහුදු ජීවීන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත.

රචනය -ගයාත්‍රි කෞශල්‍යා කීඹියෙහෙට්ටි

Share:

Monday 15 June 2020

සියම් දේශයේ සුන්දර සටන්කාමියා...Fighter Fish



සුරතල් මත්ස්‍ය ලෝකයේ ඉතාමත් සිත් ඇද ගන්නා සුළු මත්ස්‍ය විශේෂයක් වන ගුරාමි පවුලේ සාමජිකයකු වන Fighter fishහෙවත් Siamese fighting fish ( සියම් දේශයේ සටන්කරු) ඇති කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් අපි ඔබට කියන්නම්...

සුරතල් මසුන් ඇති කිරීමට කැමත්තක් දක්වන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ඇති කිරීමට හැකියාවක් ඇති මත්ස්‍ය විශේෂයක් ලෙසින් fighter fish හැඳින්විය හැක...මත්ස්‍ය විද්‍යා ලෝකයේ Betta splendens යන විද්‍යත්මක නාමයෙන් හදුන්වනු ලබන විවිධ වර්ණයෙන් හා හැඩයෙන් යුක්ත මෙම මත්ස්‍යයන්, ප්‍රබේධ 73+ පමණ මේ වන විට හදුනා ගෙන ඇත. මසුන් ඇති කරන්නන් ජෑම් බෝතල් වැනි කුඩා බෝතල් තුල මොවුන් ඇති කිරීමට පෙළඹී ඇති අතර මසුන්ට ආදරය කරන අප ඔවුන්ට එසේ නොකළ යුතුය...2019 වර්ෂයේදී තායිලන්තයේ ජාතික ජලජ සත්ත්වයා ලෙසද නම් දැරූ fighter මත්ස්‍යයා කුඹුරු , නොගැඹුරු ජලාශ, ගංගා මිටියාවත්, විල්ලු ආදී නොගැඹුරු මෙන්ම නොසෙල්වෙන ජලයේ ස්වාභාවිකව ජීවත් වේ...ස්වාභාවික පරිසරයේ ජීවත් වන fighter මසුන් අඳුරු කොළ පැහැති වන අතර මත්ස්‍ය අභිජනනය කරන්නන් විසින් මොවුන්ගේ දීප්තිමත් වර්ණ හා නව ප්‍රබේද වැඩි දියුණු කර ඇත...Half moon, Crown tail, Veil tail, Double tail, Elephant ear, Koi betta, Comb tail, Rose tail, Feather tail, Delta tail, Half sun ආදී ප්‍රබේද රැසකින් යුක්ත fighter මසුන් මේ වන විට ඉහළ වෙළෙඳ පොළ ඉල්ලුමක් ඇති මත්ස්‍ය ප්‍රබේදයක් බවට පත් වී ඇත....

ජීවන තොරතුරු...

මෙම මසුන් ආක්‍රමණයශීලී මසුන් විශේෂයක් වන අතර වැඩුණු පිරිමි සතුන් දෙදෙනෙක් කිසිවිට එකම ටැංකියේ ඇති කළ නොහැකිය.නමුත් ගැහැණු මසුන් ආක්‍රමණශීලී බවින් අඩු අතර ඉඩ කඩ ඇති ටැංකියක එකට රඳවා ඇති කළ හැක.පිරිමි මත්ස්‍යයා දීප්තිමත් වර්ණ වලින් යුක්ත වන අතර හොඳින් වැඩුණු වරල් සහිත වන අතර ගැහැණු මත්ස්‍යයාගේ වරල් එතරම් විශාලව වර්ධනය නොවේ..හොඳින් වැඩුණු මත්ස්‍යයයෙකු දිගින් සෙන්ටිමීටර 6.5 ක් පමණ වන අතර ජලයෙන් පිටත ඇති ඔක්සිජන් ලබා ගැනීමේ විශේෂ හැකියාවක් (air breathing) ද මෙම මාලුවාට ඇත. ජීවන කාලය වසර 2ක් පමණ වන අතර, 6 - 8 ත් අතර pH අගයක් සහිත මිරිදිය ජලයේ පහසුවෙන් ඇති කිරීමට හැකියාවක් ඇත.

ආහාර ලෙස මොනවාද ගන්නේ?

මාංශ භක්ෂක මත්ස්‍ය විශේෂයක් වන මොවුන් බහුලව අහාරයට ගනු ලබන්නේ සත්ත්ව ප්ලවාංග, මදුරු කීටයන්, කුඩා පණුවන්,වෙනත් කෘමි කීටයන් ආදිය වේ.... මෙම මත්ස්‍යයන් නිවසේ ඇති කිරීමේදී ඔවුන් සඳහා විශේෂයෙන්ම සැකසූ මත්ස්‍ය ආහාර වෙළඳ පොළෙන් ඉතා පහසුවෙන් ඔබට ලබාගත හැක.


රැකබලා ගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් අලස මත්ස්‍යයෙකු වන fighter මත්ස්‍යයා හට කුඩා ප්‍රමාණයේ ටැංකියක් ප්‍රමාණවත් වන අතර අවම ගැලුම් 10 ක් වත් වන හතරැස් හැඩයේ වීදුරු ටැංකියක් වඩාත් සුදුසු වේ.ඉතා කුඩා බෝතල් තුළ ඇති කිරීම තුලින් මෙම මසුන් විඩාවට පත් විය හැකි අතර ආයු කාලය ද අඩු විය හැක...ඔවුන්ට නුහුරු බවක් දැනුනු විට ටැංකියෙන් පිටතට පැනීමට උත්සාහ කළ හැකි බැවින් ආවරණය කළ ටැංකි වඩාත් යෝග්‍ය වේ..වරළ් වලට හානි විය හැකි අකාරයේ සැරසිලි යොදා ගැනීමෙන් වැළැකිය යුතු අතර ඔවුන්ට සැගවීමට හැකි යමක් ද ටැංකියේ තැන්පත් කළ යුතුය..

බෝකරන්නේ කෙසේද ?

බිත්තර මගින් බෝවන මත්ස්‍ය විශේෂයක් වන fighter මසුන් පෙණ කූඩු (bubble nest) සෑදීම මගින් බිත්තර රැකබලා ගැනීමේ යෙදේ... මෙම මත්ස්‍යයින්ගේ විශේෂත්වය වන්නේ ගැහැණු මත්ස්‍යයා විසින් බිත්තර දමනු ලබන අතර පිරිමි මත්ස්‍යයා විසින් කූඩුව සෑදීම, බිත්තර කූඩුවේ තැම්පත් කිරීම හා කුඩා පැටවුන් රැකබලා ගැනීම සිදු කිරීමයි....ගැහැණු මත්ස්‍යයා විසින් වරකට බිත්තර 40 කට අධික ප්‍රමාණයක් දමනු ලබන අතර පැය 24 - 48 ඇතුලත පැටවුන් බිහිවීම සිදු වේ...


රචනය - අකීෂා ප්‍රභාෂ්වි

Share:

සාගරයේ දැවැන්තයා - Blue Whale



පෘථිවියෙහි හමුවන විශාලතම සත්ත්වයා නිල් තල්මසා බව අප සැම දන්නා කරුණක්. නිල් තල්මසුන් (Balaenoptera musculus) පිළිබඳ සිත්ගන්නා වගතුග කිහිපයක් අපි ඔබට ගෙන එන්නම්.

සමුදුරෙහි වෙසෙන මෙම දැවැන්තයා ක්ෂිරපායි⁣ සත්ත්ව විශේෂයට අයත් වේ. එනම් මොවුන් ක්ෂීර ග්‍රන්ථි (mammary glands) ඇති/ කිරි බී වැඩෙන සත්ත්වයින් වේ. ගොඩබිම වාසය කරන ක්ෂිරපායින්ගෙන් වෙනස්ව මොවුන් මුහුදේ වාසය කිරීමට අනුවර්තනය වී ඇත්තේ කෙසේද? අපි සොයා බලමු.

තල්මසෙකු ඩයිනෝසරයෙකුටත් වඩා විශාලයි?


වැඩුනු නිල් තල්මසෙකු, දිග මීටර30ක් දක්වාත් බර ටොන්200 ක් දක්වාත් විශාල විය හැක. එනම් අලින්33න් දෙනෙකුගේ බර යැයි කියැවේ. ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 80 - 90 දක්වා දීර්ඝ ය. එතෙක් මෙතෙක් හඳුනාගත් විශාලතම සත්ත්වයා නිල් තල්මසා වේ.

තල්මසුන් පැටවුන් බිහි කරනවාද?

ක්ෂිරපායින් වශයෙන් මොවුන් වැඩුනු පැටවුන් බිහි කරයි. ගැබ්ගෙන අවුරුද්දක පමණ කාලයකින් පසුව පැටවුන් බිහි කිරීම සිදුකරයි. නිල් තල්මස් මවක් විසින් තම පැටවුන් පෝෂණය කිරීම සඳහා කිරි ලීටර 200කට වැඩි ප්‍රමාණයක් ( ගැලුම්50ක්) දිනකට නිපදවයි. කිරි දීම සිදුකරන්නේ තනපුඩු මගිනි (කිරි දෙන අවස්ථාවන් හැරුණු කොට අනෙක් අවස්ථා වලදී එම තනපුඩු විශේෂිත සම් පටලයකින් (mammary slits) වැසී ආරක්ෂා⁣වී පවතී). කිරි බොන පැටවෙක් දිනකට කිලෝග්‍රෑම්100 කින් පමණ වර්ධනය වන අතර පැටවාට මාස 6 ක් පමණ වූ පසු මව කිරි වැරීම සිදුකරයි. ඉපදෙන විට පැටවෙක් මීටර 7 ක දිගකින් ද ටොන්2 - 3 බරකින් ද යුක්ත වේ.

තල්මසුන් හුස්ම ගන්නේ නාසයෙන් ද?


මොවුන් හුස්ම ගන්නා ආකාරය අප හුස්ම ගන්නා ආකාරයත් සමඟ ඉතා සමානය. ඒ පෙනහළු මඟිනි. මෙම කාර්ය සඳහා ජලය මතුපිටට පැමිණීම අනිවාර්යය. ඔවුන් හුස්ම ගැනීම සඳහා තම හිස මුදුනේ පිහිටා ඇති නාස් විවර / blowholes භාවිතා කරයි.
මෙහිදී ප්‍රථමයෙන් තම ශරීරයේ ඇති උණුසුම් ප්‍රාශ්වාස වාතය blowhole තුලින් දැඩි පීඩනයක් එකවර එළියට විදියි. එමනිසා එම වාත⁣යේ ඇති උණුසුම් ජල වාෂ්ප පිටත සීත වාතයෙන් සිසිල් වී, ජල කඳක්⁣⁣⁣ලෙසින් අඩි30ක පමණ උසකට විහිදී යයි. මෙය හුමාලය වැනිය. මෙම ජල විහිදුම Spout ලෙසින් හැඳින්වේ. Spout එකෙහි හැඩය හා උස දෙස බලා පමණක් තල්මසා දැකීමටත් පෙර ඇතැම් තල්මසුන් මඟපෙන්වන්නන්ට එම තල්මස් වර්ගය හඳුනාගත හැක.
හුස්ම ගෙන විනාඩි30ක් පමණ දිය යට සිට නැවතත් ඔක්සිජන් සඳහා දිය මතුපිටට පිහිනීමට ඔවුන්ට සිදුවේ.


Blow holes කීයක් තියෙනවා ද?

තල්මසුන් Baleen whale හා Toothed whale යනුවෙන් වර්ග දෙකකි. නිල් තල්මසුන් Baleen whale වර්ගයේය. එම වර්ගයටblowhole 2ක් පිහිටන අතර toothed whale වර්ගයට පිහිටන්නේ blowhole 1ක් පමණි.(eg: sperm-whale)

ඔවුන්ගේ ශබ්දය එතරම් විශාල ද?

නිල් තල්මසුන් නිපදවන ශබ්ද කදම්භයන්ගේ විශාලත්වය ජෙට් එන්ජිමක ශබ්දයේ විශාලත්වය ද අභිබවන බව කියැවේ. ජෙට් එන්ජිමක් ඩෙසිබෙල් 140ක (140dB) ශබ්දයක් නිපදවන අතර ඔවුන්ගේ ශබ්දයේ විශාලත්වය 188 dB කි.
මොවුන් විසින් නිපදවන මිනිස් ශ්‍රව්‍ය සීමාවට නොඇසෙන 14 Hz වැනි අඩු සංඛ්‍යාත ශබ්දයන් ( low frequency whistle ) සැතැපුම් සියගණනක් දක්වා විහිදේ. ශබ්ද නිපදවන්නේ ස්වරාලය / larynx මඟිනි.

මෙ⁣ම දැවන්තයාගේ ආහාරය කෙතරම් දැවැන්ත ද?

ශරීරය කෙතරම් දැවැන්ත වුවද ඔවුන්ගේ ප්‍රියතම ආහාරය කූණිස්සන්ය/krill. කූණිස්සන් රංචු පිටින් එකවර තම විශාල මුඛයට ඈඳා ගන්නා මොවුන් පෙරහන් පෝෂණය / filter feeding මඟින් ආහාරය ලබාගනී. ඒ තම මුඛයේ ඇති baleen නැමැති කෙරටීන් තන්තු වලින් සෑදී ඇති තැටි උපයෝගී කරගනිමින්. දිනකට කූණිස්සන් ටොන් 4-6 ක් ආහාරයට ප්‍රමාණවත් වේ.

ශරීර උෂ්ණත්වය පාලනය කරගන්නේ කෙසේද ?

නිල් තල්මසුන් උණුසුම් රුධිරය ඇති සතුන් ය. මෙනිසා සීත පරිසරයේ තම ශරීර තාපය හානි වීම වළකා ගත යුතුය. Blubber නැමැති සම යට පිහිටා ඇති මේද තට්ටුව මේ සඳහා උපකාරී වේ. එය තාප පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි.


ඔවුන් endangered සත්ත්ව කොට්ඨාසයක්?


Whale watching Mirissa

අතීතයේ නිල් තල්මසුන් ඉතා බහුලව ජීවත්ව ඇති නමුත් 19 වන සියවසේ දී නිල් තල්මස් දඩයම වැඩි වීමත් සමඟ ඔවුන්ගේ ගහණය ඉතා ස්‍රීග්‍රයෙන් පහළ ගොස් ඇත. අනතුරුව 19 වන සියවස අගභාගයේදී බොහෝ රටවල නිල් තල්මස් දඩයම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කර ඇත. කෙසේ වුවද අද වන විට ඔවුන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති /endangered සත්ත්ව කොට්ඨාසයක් බවට පත්වී ඇත.

ආක්ටික් සාගරය හැරුණු කොට අනෙකුත් සියළුම සාගරවල මෙම ක්ෂිරපායි⁣න් දැකගත හැක. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ තීරය නිල් තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානයක් ලෙස දෙස් විදෙස් ජනප්‍රියතාවයක් උසුලයි.

රචනය - මාධවී ජයසේකර


Share:

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...