Search here..

Monday 2 November 2020

මාතෘත්වය ලබන අපූරු පියවරු - මුහුදු අශ්වයෝ

 

මහ සයුරේ ආකර්ශනීයත්වය ඔප නැංවීමට දායකවන ලොව සුවිශේෂී සත්ත්ව කොට්ටශයක් ලෙස මුහුදු අශ්වයන් (Sea horse) නැත්නම් විද්‍යාත්මකව Hippocampus sp. යනුවෙන් හැදින්විය හැකියි. ගොඩබිමේ වෙසෙන අශ්වයන් ගේ හිසට බෙහෙවින් සමාන වූ හිසක්‌ ඇති බැවින් මේ අපූරු මත්ස්‍යයා මුහුදු අශ්වයා යනුවෙන් හඳුන්වනු ලැබේ. කැන්ගරුවකු ගේ උදර පෙදෙසේ පිහිටා ඇති පැසක්‌ බඳු අවයවයක්‌ මුහුදු අශ්ව පිරිමි සතා ගේ උදර පෙදෙසේ පිහිටා තිබේ. මේ පැස ඉංග්‍රීසියෙන් Brood pouch යනුවෙන් හැඳින්වෙයි. එමෙන්ම අප්‍රිකාවේ ජීවත් වන මකුළු වඳුරන් (Spider monkey) ගේ යමක්‌ අල්ලා ගත හැකි දිගු වලිගය වැනි වලිගයක්‌ හෙවත් පරිග්‍රාහි වලිගයක්‌ (Prehensille tall) මුහුදු අශ්වයාට පිහිටා තිබීම ද තවත් සුවිශේෂී ලක්‌ෂණයකි.
  


යුවළක්‌ ලෙස ජීවත් වීමට ප්‍රිය කරන මුහුදු අශ්වයින්ට ජීවත් වන පරිසරය අනුව ශරීර වර්ණය වෙනස්‌ කර ගැනීමේ හැකියාවක්‌ ද ඇත. ඒ සතුරන් ගෙන් බේරීමට යොදාගන්නා උපක්‍රමයකි. අශ්වයකු ගේ හිස හා සමාන වූ හිසක්‌ ඇතත් මුහුදු අශ්වයන් ගේ හොම්බ සහිත මුඛය ඇරීමට හා වැසීමට හැකියාවක්‌ නැත. මුඛය නළයක ආකාරය ගනී. උගුර ප්‍රදේශයේ පිහිටි කොටස ප්‍රසාරණය කර කට තුළට ජලය ලබා ගනී.

                    
මෙසේ ලබාගන්නා ජලයේ සිටින කුඩා කකුළුවන්, ඉස්සන් හා ප්ලවාංග වැනි කුඩා ජීවීන් ආහාරයට ගනී. සතුරන්ගෙන් ආරක්ශා වීම සදහා ස්වභාදහමින් දායාද වූ එකවර දෙපසට හැරවිය හැකි ඇස්‌ දෙකක්‌ ඇත. නොහැඹුරු මුහුදේ විවේකීව සිටීමට වඩාත් ප්‍රිය කරන මුහුදු අශ්වයන් සිය වලිගයෙන් මුහුදු තෘණ ගසක්‌ හෝ කොරල් පරයක කොරල් ශාකයක්‌ අල්ලාගෙන සිටීම සාමාන්‍ය චර්යාවකි.

       මිනිස් ඇගිලි සලකුන එකිනෙකාගෙන් වෙනස්වන ආකාරයටම මුහුදු අශ්වයන්ගේ හිස පෙදෙසේ ඔටුන්නක්‌ ආකාරයට පිහිටි නෙරීම් සතා ගෙන් සතාට එකිනෙකට වෙනස්‌ වෙයි. නිදසුනක්‌ ලෙස එක ම විශේෂයකට අයත් මුහුදු අශ්වයන් කීප දෙනකු ගැන විමසීමක්‌ කළ හොත් මේ කිහිප දෙනා ගේ හිසේ තිබෙන නෙරීම් එකිනෙකට වෙනස්‌ වෙයි. එනම් මෙම ලක්‌ෂණය විශේෂය අනුව හා සත්ත්වයාට අනුව ද වෙනස්‌ වන බවක්‌ දක්‌නට ලැබේ. මේ ලක්‌ෂණය මුහුදු අශ්වයන් එකිනෙකා වෙන් කර හඳුනා ගැනීමට සොබාදහමෙන් ලැබී ඇති සලකුණකි.ශරීරයේ කොරපොතු නැතත් අස්‌ථිමය කවචයකින් ශරීරය වැසී ඇත.

         සාමාන්‍යයෙන් ලෝකයේ මාතෘත්වය කාන්තාවන්ට පමනක් පොදු වුවත් මුහුදු අශ්වයින්ගේ පිරිමි සතා විසින් මාතෘත්වයේ වගකීම් ඉටුකරනු ලබයි. ගැහැනු සතා පිරිමි සතා ගේ පැස තුළ බිජු තැන්පත් කරන අතර පැස තුළ දී බිත්තර සංසේචනය වෙයි. බිත්තර දමා දින 12ක්‌ පමණගත වූ පසු බිහි වන පැටවුන් සංඛ්‍යාවෙන් විවිධ වෙයි. සොයාගෙන ඇති අන්දමට වරකටපැටවුන් 100ත් 200ත් අතර ප්‍රමාණයක්‌ මෙන්ම වරකට පැටවුන් 5 දෙනකු පමණ බිහි කරනවිශේෂ ද ඇත. ගැහැනු සතා පිරිමි සතා ගේ පැස තුළ බිත්තර තැන්පත් කිරීමෙන් පසු පිරිමි සතා පැස පුම්බාගෙන සිටින ආකාරයක්‌ පෙන්නුම් කරයි.

මෙහි දී සිදු කෙරෙන්නේ පැස තුළට ජලය ලබාගෙන බිත්තර සංසේචනයට අවශ්‍ය ඔක්‌සිජන් සපයා ගැනීම ය. මෙහි දී පිරිමි සතා වලිගයෙන් සිය පැස පිරිමැදීමක්‌ සිදු කරයි. පැස පිරිමැදීමේ දී පැස තුළ තිබෙන ජලය පිටතට ගොස්‌ අලුත් ජලය නැවතත් පැස තුළට පිරෙයි මෙනිසා බිත්තර මේරීමට අවශ්‍ය ඔක්‌සිජන් නිතර ම ලැබෙන අතර පිරිසිදු අලුත් ජලය ද ලැබෙයි.

මෙය බිත්තර නරක්‌ නො වී තබා ගැනීමට හේතු වෙයි. බිහි වූ පැටවු දින දෙකක්‌ පමණ පැස තුළ සිට පිටතට පැමිණෙති. පිටතට පැමිණෙන මුහුදු අශ්ව පැටවු උන් ගේ වලිගයෙන් කිසියම් දෙයක්‌ හෙවත් උපස්‌ථරයක්‌ අල්ලා ගනිති. මෙහි දී දක්‌නට ලැබෙන සුවිශේෂී දෙයක්‌ නම් මවුපියන් පැටවුන් රැකබලා ගැනීමක්‌ නො කිරීම ය. මේ නිසා උන් සතුරන්ට ගොදුරු වීමට තිබෙන හැකියාව වැඩි ය.

     තවත් සුවිශේෂී ලක්‌ෂණයක්‌ නම් සාමාන්‍යයෙන් මුහුදේ වෙසෙන මත්ස්‍යයන් කෘත්‍රිමව අභිජනනය කිරීම හෙවත් ස්‌වාභාවික පරිසරයෙන් බැහැර ව අභිජනනය කිරීම අපහසු දෙයක්‌ වුවත් මුහුදු අශ්වයින් කෘත්‍රීමව අභිජනන කිරීමට ඇති හැකියාවයි.

     පොදුවේ ගත් කල ඉතා ම සෙමින් සිරස්‌ව කෙළින් පිහිනා යැමේ රටාවක්‌ අනුගමනය කරන මුහුදු අශ්වයන් පිහිනා යැම සඳහා පෘෂ්ඨීය වරල (Dorsal fin) ද, ශරීරය හැරවීම සඳහා සුක්‌කානමක්‌ ලෙස ඇස්‌ දෙපස පිහිටා ඇති ළය වරල (Pectoral fin) ද යොදා ගනිති. වෙනත් මත්ස්‍ය විශේෂවලට මෙන් පෞච්ඡ වරලක්‌ (Caudal fin) නොමැති වීම නිසා වේගවත්ව පිහිනා යැමට අපහසු ය. එබැවින් සතුරන්ට ගොදුරු වීමත්, කුණාටුවලට ගසාගෙන යැමත් මොවුන් විනාශ වීමට බලපාන ස්‌වාභාවික හේතු වෙයි.

    මුහුදු අශ්වයා විසිතුරු මත්ස්‍යයකු ලෙසත්, විවිධ රටවල ඖෂධ පිණිසත් ප්‍රයෝජනයට ගැනීම හා ආහාරයක් ලෙස යොදා ගැනීම නිසා සහ කෘත්‍රීම පරිසරයක අභිජනනය කළ හැකි වීම, ටැංකිවල ඇති කිරීමට ඇති හැකියාව හේතුවෙන් ඉහළ මිලකට වෙළෙඳපොළේ විකිණෙන බවට කරුණු හෙළි වී ඇත. ප්‍රමානයෙන් මෙන්ම බරින්ද කුඩා ජීවීන වන මුහුදු අශ්වයන් කිලෝ එකක බරක් සදහා හාරසීයක් පමන ජීවීන් නිරපරාදේ ඝාතනය කරනු ලබයි.බොහෝ රටවල් මුහුදු අශ්ව අපනයනය තහනම් කර ඇතත් ශ්‍රී ලංකාව මේ වන විට එවන් තීරණයකට එළඹී නැත. එබැවින් මේ සඳහා නීති සම්පාදනය විය යුතු ය.

Written by: K.S.D. Gunathilaka





References

https://www.britannica.com/animal/sea-horse

http://www.vidusara.com/2009/10/28/feature1.html
Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...