Search here..

Thursday 18 June 2020

ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට කෞතුකාගාරය - Sri Lanka's first underwater museum



දිය යට කෞතුකාගාරයක් ඉදිකිරීම කෙතරම් විශ්මය ජනක ද? 

ලෝකයේ විවිධ රටවල දිය යට කෞතුකාගාර  දැකගත හැකි වුවත් අපට එය තවදුරටත් අළුත් අත්දැකීමක් නොවෙනු ඇති. ඒ, 2020 අප්‍රේල් 05 වන දින දිය යට බිහිවූ ලංකාවේ ප්‍රථම කෞතුකාගාරය විවෘත වීමත් සමඟයි.


ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ගාලු මුහුදු තීරයේ ගාලු වරාය තුළ අඩි 50ක පමණ ගැඹුරින් මෙම දිය යට කෞතුකාගාරය ඉදිකර ඇත.  ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ ඉදිවුණු මෙම කෞතුකාගාරය තවත් විශේෂ වන්නේ එහි තැම්පත් කර ඇති සියළුම මූර්ති නාවික හමුදා භටයින් විසින් නිර්මාණය කර ඇති බැවිනි. කෞතුක වස්තු, ඵලක/පුවරු හා මූර්ති විශාල එකතුවක් මෙහි දී දැක ගත හැක.


සිමෙන්ති සහ පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරමින් මෙම සුවිශේෂී මූර්ති නිර්මාණය කර ඇත.

ළමා, වැඩිහිටි, පළපුරුදු හෝ ආරම්භක කිමිදුම්, ස්කූබා කිමිදුම් හෝ සාමාන්‍ය පිහිනුම් ශිල්පීන් ඇතුළු ඕනෑම අයෙකුට මෙම සුවිශේෂී දර්ශනීය අත්දැකීම ලබා ගත හැක.

කොරල් පුනර්ජනනය සහ මත්ස්‍ය අභිජනනය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත. අළුතින් එකතු වන කොරල් කාලයත් සමඟ කෘතිම කොරල් පරයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර එමඟින් එම ප්‍රදේශයේ සාගර ජීවීන්ගේ ප්‍රවර්ධනය මෙන්ම කෞතුකාගාර උද්‍යානයට ද එය අලංකාරයක් එකතු කරනු ඇති. මෙම භූමියේ මත්ස්‍යය අභිජනනය දැනටමත් ආරම්භ වී ඇති බවට සාක්ෂි ඇති අතර අභිජනනය ආරම්භක අවධියේ දී මසුන් ඇල්ලීමේ කටයුතු වලින් වැළකෙන ලෙසට එහි ධීවර ප්‍රජාවට උපදෙස් ලබා දී ඇත. මසුන් බෝ වීම සිදුවූ පසු ධීවරයින් හට එහි වාසිය අත්පත් කර ගත හැක.


ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටද නවමු මුහුණුවරක් ලබා දීමට මෙම දිය යට මූර්ති උද්‍යානය විශාල දායකත්වයක් ලබා දෙනු නිසැකය. නුදුරේදී ම සංචාරකයන් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් සඳහා ඉඩකඩ ලැබෙනු ඇති.


ලංකා ඉතිහාසයට තවත් ⁣⁣ෛඑතිහාසික දිනක් එකතු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් මෙම ප්‍රථම දිය යට කෞතුකාගාරය විවෘත කෙරිනි. පරිසර හිතකාමී සහ සාගරය සම්බන්ධ තිරසාර සංවර්ධන වැඩපිළිවෙළක් වශයෙන් අප රටට, ආර්ථිකයට හා සාගර ජීවී සංරක්ෂණයට මෙම ව්‍යාපෘතිය ඉමහත් රුකුලක් වනු නොඅනුමානයි.

මාධවී ජයසේකර



Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...