Search here..

Monday 15 June 2020

සාගරයේ දැවැන්තයා - Blue Whale



පෘථිවියෙහි හමුවන විශාලතම සත්ත්වයා නිල් තල්මසා බව අප සැම දන්නා කරුණක්. නිල් තල්මසුන් (Balaenoptera musculus) පිළිබඳ සිත්ගන්නා වගතුග කිහිපයක් අපි ඔබට ගෙන එන්නම්.

සමුදුරෙහි වෙසෙන මෙම දැවැන්තයා ක්ෂිරපායි⁣ සත්ත්ව විශේෂයට අයත් වේ. එනම් මොවුන් ක්ෂීර ග්‍රන්ථි (mammary glands) ඇති/ කිරි බී වැඩෙන සත්ත්වයින් වේ. ගොඩබිම වාසය කරන ක්ෂිරපායින්ගෙන් වෙනස්ව මොවුන් මුහුදේ වාසය කිරීමට අනුවර්තනය වී ඇත්තේ කෙසේද? අපි සොයා බලමු.

තල්මසෙකු ඩයිනෝසරයෙකුටත් වඩා විශාලයි?


වැඩුනු නිල් තල්මසෙකු, දිග මීටර30ක් දක්වාත් බර ටොන්200 ක් දක්වාත් විශාල විය හැක. එනම් අලින්33න් දෙනෙකුගේ බර යැයි කියැවේ. ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 80 - 90 දක්වා දීර්ඝ ය. එතෙක් මෙතෙක් හඳුනාගත් විශාලතම සත්ත්වයා නිල් තල්මසා වේ.

තල්මසුන් පැටවුන් බිහි කරනවාද?

ක්ෂිරපායින් වශයෙන් මොවුන් වැඩුනු පැටවුන් බිහි කරයි. ගැබ්ගෙන අවුරුද්දක පමණ කාලයකින් පසුව පැටවුන් බිහි කිරීම සිදුකරයි. නිල් තල්මස් මවක් විසින් තම පැටවුන් පෝෂණය කිරීම සඳහා කිරි ලීටර 200කට වැඩි ප්‍රමාණයක් ( ගැලුම්50ක්) දිනකට නිපදවයි. කිරි දීම සිදුකරන්නේ තනපුඩු මගිනි (කිරි දෙන අවස්ථාවන් හැරුණු කොට අනෙක් අවස්ථා වලදී එම තනපුඩු විශේෂිත සම් පටලයකින් (mammary slits) වැසී ආරක්ෂා⁣වී පවතී). කිරි බොන පැටවෙක් දිනකට කිලෝග්‍රෑම්100 කින් පමණ වර්ධනය වන අතර පැටවාට මාස 6 ක් පමණ වූ පසු මව කිරි වැරීම සිදුකරයි. ඉපදෙන විට පැටවෙක් මීටර 7 ක දිගකින් ද ටොන්2 - 3 බරකින් ද යුක්ත වේ.

තල්මසුන් හුස්ම ගන්නේ නාසයෙන් ද?


මොවුන් හුස්ම ගන්නා ආකාරය අප හුස්ම ගන්නා ආකාරයත් සමඟ ඉතා සමානය. ඒ පෙනහළු මඟිනි. මෙම කාර්ය සඳහා ජලය මතුපිටට පැමිණීම අනිවාර්යය. ඔවුන් හුස්ම ගැනීම සඳහා තම හිස මුදුනේ පිහිටා ඇති නාස් විවර / blowholes භාවිතා කරයි.
මෙහිදී ප්‍රථමයෙන් තම ශරීරයේ ඇති උණුසුම් ප්‍රාශ්වාස වාතය blowhole තුලින් දැඩි පීඩනයක් එකවර එළියට විදියි. එමනිසා එම වාත⁣යේ ඇති උණුසුම් ජල වාෂ්ප පිටත සීත වාතයෙන් සිසිල් වී, ජල කඳක්⁣⁣⁣ලෙසින් අඩි30ක පමණ උසකට විහිදී යයි. මෙය හුමාලය වැනිය. මෙම ජල විහිදුම Spout ලෙසින් හැඳින්වේ. Spout එකෙහි හැඩය හා උස දෙස බලා පමණක් තල්මසා දැකීමටත් පෙර ඇතැම් තල්මසුන් මඟපෙන්වන්නන්ට එම තල්මස් වර්ගය හඳුනාගත හැක.
හුස්ම ගෙන විනාඩි30ක් පමණ දිය යට සිට නැවතත් ඔක්සිජන් සඳහා දිය මතුපිටට පිහිනීමට ඔවුන්ට සිදුවේ.


Blow holes කීයක් තියෙනවා ද?

තල්මසුන් Baleen whale හා Toothed whale යනුවෙන් වර්ග දෙකකි. නිල් තල්මසුන් Baleen whale වර්ගයේය. එම වර්ගයටblowhole 2ක් පිහිටන අතර toothed whale වර්ගයට පිහිටන්නේ blowhole 1ක් පමණි.(eg: sperm-whale)

ඔවුන්ගේ ශබ්දය එතරම් විශාල ද?

නිල් තල්මසුන් නිපදවන ශබ්ද කදම්භයන්ගේ විශාලත්වය ජෙට් එන්ජිමක ශබ්දයේ විශාලත්වය ද අභිබවන බව කියැවේ. ජෙට් එන්ජිමක් ඩෙසිබෙල් 140ක (140dB) ශබ්දයක් නිපදවන අතර ඔවුන්ගේ ශබ්දයේ විශාලත්වය 188 dB කි.
මොවුන් විසින් නිපදවන මිනිස් ශ්‍රව්‍ය සීමාවට නොඇසෙන 14 Hz වැනි අඩු සංඛ්‍යාත ශබ්දයන් ( low frequency whistle ) සැතැපුම් සියගණනක් දක්වා විහිදේ. ශබ්ද නිපදවන්නේ ස්වරාලය / larynx මඟිනි.

මෙ⁣ම දැවන්තයාගේ ආහාරය කෙතරම් දැවැන්ත ද?

ශරීරය කෙතරම් දැවැන්ත වුවද ඔවුන්ගේ ප්‍රියතම ආහාරය කූණිස්සන්ය/krill. කූණිස්සන් රංචු පිටින් එකවර තම විශාල මුඛයට ඈඳා ගන්නා මොවුන් පෙරහන් පෝෂණය / filter feeding මඟින් ආහාරය ලබාගනී. ඒ තම මුඛයේ ඇති baleen නැමැති කෙරටීන් තන්තු වලින් සෑදී ඇති තැටි උපයෝගී කරගනිමින්. දිනකට කූණිස්සන් ටොන් 4-6 ක් ආහාරයට ප්‍රමාණවත් වේ.

ශරීර උෂ්ණත්වය පාලනය කරගන්නේ කෙසේද ?

නිල් තල්මසුන් උණුසුම් රුධිරය ඇති සතුන් ය. මෙනිසා සීත පරිසරයේ තම ශරීර තාපය හානි වීම වළකා ගත යුතුය. Blubber නැමැති සම යට පිහිටා ඇති මේද තට්ටුව මේ සඳහා උපකාරී වේ. එය තාප පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි.


ඔවුන් endangered සත්ත්ව කොට්ඨාසයක්?


Whale watching Mirissa

අතීතයේ නිල් තල්මසුන් ඉතා බහුලව ජීවත්ව ඇති නමුත් 19 වන සියවසේ දී නිල් තල්මස් දඩයම වැඩි වීමත් සමඟ ඔවුන්ගේ ගහණය ඉතා ස්‍රීග්‍රයෙන් පහළ ගොස් ඇත. අනතුරුව 19 වන සියවස අගභාගයේදී බොහෝ රටවල නිල් තල්මස් දඩයම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කර ඇත. කෙසේ වුවද අද වන විට ඔවුන් වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති /endangered සත්ත්ව කොට්ඨාසයක් බවට පත්වී ඇත.

ආක්ටික් සාගරය හැරුණු කොට අනෙකුත් සියළුම සාගරවල මෙම ක්ෂිරපායි⁣න් දැකගත හැක. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මිරිස්ස වෙරළ තීරය නිල් තල්මසුන් නැරඹීමේ මධ්‍යස්ථානයක් ලෙස දෙස් විදෙස් ජනප්‍රියතාවයක් උසුලයි.

රචනය - මාධවී ජයසේකර


Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...