Search here..

Wednesday 17 June 2020

සියම් දේශයේ සුන්දර සටන්කාමියා... Fighter fish -Part 2

බෝකර ගන්නේ කෙසේද ? 

සුරතල් මත්ස්‍යයන් අභිජනනය ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙකුට ඉතාමත් පහසුවෙන් අභිජනනය සිදු කළ හැකි මත්ස්‍ය විශේෂයක් ලෙස fighter fish හදුන්වා දිය හැක...හේතුව නම් මෙම මත්ස්‍ය විශේෂය මා පිය රැකවරණය(parental caring) සහිත මත්ස්‍ය විශේෂයක් වීම මෙන්ම පහසුවෙන් ගැහැණු මසුන් හා පිරිමි මසුන් හඳුනා ගත හැකි වීමයි...

සුදුසු මව් සතුන් තෝරා ගැනීම..

ගුණාත්මක බවින් ඉහළ පැටවුන් ලබා ගැනීම සඳහා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් යුතු මව් මසුන් තෝරා ගැනීම ඉතා වැදගත් වේ..මේ සඳහා නීරෝගී ( බාහිර තුවාල, කොරපොතු හැලීම්, වරළ් කැඩීම් වලින් තොර ) පිරිමි හා ගැහැණු මසුන් දෙදෙනකු තෝරා ගත යුතුය...මෙහිදී පිරිමි මත්ස්‍යයා, ශරීර ප්‍රමාණයෙන් ගැහැණු මත්ස්‍යයාට සාපේක්ෂව විශාල වන සේ තෝරා ගත යුතුය...

ගැහැණු හා පිරිමි මත්ස්‍යයන් හඳුනා ගන්නේ කෙසේද ?

Male fighter fish

Female fighter fish

හොඳින් වැඩුණු පිරිමි මත්ස්‍යයකු ගේ වරළ් දිගින් හා විශාලත්වයෙන් වැඩි අතර ගැහැණු මත්ස්‍යයාගේ වරළ් සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වේ.. එසේම පිරිමි මත්ස්‍යයා තරම් සිත් ඇද ගන්නා පෙනුමක් ද ගැහැණු මත්ස්‍යයාට නැත.( මේ නිසාම වෙළඳ පොළේ වැඩි මිලකට අලෙවි වන්නේ පිරිමි මත්ස්‍යයන් වේ...

අභිජනනය සඳහා සූදානම් කරන්නේ කෙසේද ?

ඔබ තෝරාගත් fighter මත්ස්‍යයන් දෙදෙනා පළමුව සුදුසු පරිමානයේ ටැංකි දෙකක් තුල වෙන වෙනම තබා හොඳින් අහාර ලබා දිය යුතුය...මෙහිදී ප්‍රෝටීන් ආදී පෝෂක අධික අහාර වේලක් ලබා දීම මගින් මත්ස්‍යයන් හට අභිජනනය ක්‍රියාවලිය අතර තුර අවශ්‍ය ශක්තිය ලබා දෙනවා මෙන්ම කුඩා පැටවුන් ආහාරයට ගැනීමද වැළැක්වීමට හැකියාව ලැබේ...සජීවී ආහාර වඩාත්ම සුදුසු වන අතර, මේ සඳහා මදුරු කීටයන්, කුඩා පණුවන් මෙන්ම වෙළඳ පොළේ ඇති පෝෂණ ගුණයෙන් ඉහළ කෘත්‍රිම අහාර වුවද ලබා දිය හැක..අවම සති දෙකක කාලයක් මෙලෙස ආහාර ලබා දීම සිදු කළ යුතු අතර මසුන්ගේ සෞඛ්‍යය තත්ත්වය කෙරෙහි ද අවධානය ලබා දිය යුතුය...

අභිජනන ටැංකිය සූදානම් කරන්නේ කෙසේද ?


මේ සඳහා ගැලුම් 10 පමණ වන සෘජුකෝණාස්‍රාකාර හැඩයේ වීදුරු ටැංකියක් වඩාත් සුදුසු වේ...අභිජනනයට දින 10 කට පමණ පෙර මෙය සූදානම් කළ යුතු අතර උණුසුම් ජලයෙන් පමණක් ටැංකිය සේදීම සුදුසු ය...ටැංකියේ පතුලට විසිතුරු ගල් විශේෂ එක් නොකළ යුතු අතර සෘජු ඉර එළිය නොවැටෙන බාහිර බාධා වලින් තොර ස්ථානයක් මේ සඳහා තෝරාගත යුතුය...එසේම පාවෙන ආකාරයේ ජලජ පැළෑටි කිහිපයක් එක් කිරීමද වැදගත් වේ...

අභිජනනයට සියල්ල සූදානම්! 

හොඳින් සූදානම් කළ මව් සතුන් දෙදෙනාගෙන් අප පළමුව අභිජනන ටැංකිය වෙත හදුන්වා දෙන්නේ පිරිමි සත්ත්වයා ය. ඉන්පසු ගැහැණු සත්ත්වයා සුදුසු විනිවිද පෙනෙන තවත් බදුනක දමා එම ටැංකියේම පිරිමි මත්ස්‍යයාට පෙනෙන ආකාරයට තබයි...( මේ සඳහා වීදුරු ජෑම් බෝතලයක් යොදාගත හැක)

මොකක්ද මේ පෙණ කූඩුවක් හදලා තියෙන්නේ? 


Fighter මසුන් මෙලෙස එකිනෙකා හොඳින් දර්ශනය වන සේ තැබූ විට පිරිමි මත්ස්‍යයා විසින් පාවෙන ජල පැළෑටි වල උදව්වෙන් පෙණ කූඩුවක් සාදා ඇති බව ඔබට දැකගත හැක...මේ අවස්ථාව වන විට ගැහැණු මත්ස්‍යයා ද බිත්තර නිපදවීම ආරම්භ කර ඇති අතර තරමක් පිම්ඹුණු උදරයක් දැකගත හැක..

ගැහැණු සතා අභිජනනය ටැංකියට දාන්නේ මොන වෙලාවට ද?

සාමාන්‍යයෙන් දින දෙකක් පමණ ගත වන විට පිරිමි මත්ස්‍යයා පෙණ කූඩුව ඉතා විශාලව සාදා ඇති අතර තව දුරටත් එය සෑදීමේ යෙදේ..හොඳින් නිරීක්ෂණය කළහොත් මේ වන විට ගැහැණු මත්ස්‍යයාගේ උදරය දෙපස ඉරි ආකාරයක්( vertical stripes) දැකිය හැකි අතර හොඳින් පිම්ඹුණු උදරය, බිත්තර නිපදවීම අවසන් බව පෙන්නුම් කරයි.. මේ අවස්ථාවේ දී ගැහැණු මත්ස්‍යයා ද පිරිමි මත්ස්‍යයා සිටින ටැංකියටම නිදහස් කිරීම කළ යුතුය..දැන්...අභිජනනය සිදුවේ
මෙම අවස්ථාව වන විට අභිජනන ටැංකිය අදුරේ තැබිය යුතු අතර බාහිර බාධා නොතිබිය යුතුය..පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයා හඹා යාම සිදුවන අතර ඇතැම් අවස්ථාවන්හිදී වරළ් වලට හානි වීම් ද සිදුවිය හැක..මෙම හඹා යාමේ අවධිය අවසානයේ ගැහැණු මත්ස්‍යයා පිරිමි මත්ස්‍යයා වෙත පිහිනා යයි... ඉන්පසු පිරිමි මත්ස්‍යයා විසින් ගැහැණු මත්ස්‍යයා තෙරපීම මගින් බිත්තර නිදහස් කිරීම සිදුවන අතර එය පැය කිහිපයක් දක්වා සිදුවන ක්‍රියාවලියකි...මෙම බිත්තර ජලයේ ගිලෙන (sinking eggs) අතර පිරිමි මත්ස්‍යයා විසින්ම මේවා පෙණ කූඩුව මත තැම්පත් කිරීම ද සිදු කරයි...

ගැහැණු මත්ස්‍යයා ඉවත් කරන්නේ මොන වෙලාවට ද?



බිත්තර නිදහස් කිරීමේ ක්‍රියාවලිය අවසාන වූ විට පිරිමි මත්ස්‍යයා නැවතත් ගැහැණු මත්ස්‍යයා පසුපසින් එළවීම දක්නට ලැබේ...මෙම අවස්ථාවේ දී ගැහැණු මත්ස්‍යයා ටැංකියෙන් ඉවත් කර ගත යුතු අතර නැතහොත් මරා දැමීමට පවා ඉඩ ඇත..

පිරිමි මත්ස්‍යයා ගේ රැකවරණය ?

බිත්තර තැම්පත් කර ඇති කූඩුව තව දුරටත් වැඩි දියුණු කිරීම මෙන්ම පෙණ බුබුළු බිඳ වැටීම නිසා ගිලෙන බිත්තර නැවතත් කූඩුවේ තැම්පත් කිරීම ආදී බොහෝ වැඩ කොටසක් සිදු කරනු ලබන්නේ පිරිමි මත්ස්‍යයා විසිනි..තවත් පැය 24 - 48 ක පමණ කාලයකට පසු අලුත උපන් කුඩා පැටවුන් බිත්තර තුලින් එළියට පැමිණීම දැකගත හැක..මේ වන විටත් ඉතා කර්‍යබහුල වූ පිරිමි මත්ස්‍යයා කුඩා පැටවුන් නැවත කූඩුවේ තැම්පත් කිරීමට තනිව සටන් කරයි..

අලුත උපන් පැටවුන් රැකබලා ගන්නේ කොහොමද ?

බීජාන්‍ය මඩිය ( yolk sac ) සහිතව උපත ලබන මෙම කුඩා පැටවුන් හට පළමු දින 2- 3 ක් පමණ වන තෙක් කිසිදු ආහාරයක් බාහිරින් ලබා දීම අවශ්‍ය නොවේ..දින දෙකක් පමණ වන විට නිදහසේ පිහිනා යන අවධියට(free swimming larvae) මොවුන් පැමිණේ..මේ අවස්ථාව වන විට පිරිමි මත්ස්‍යයා ද ඉවත් කිරීම කළ යුතු අතර ඔහුගේ කර්‍ය එයින් අවසන් වේ..ඉන් අනතුරුව පළමු ආහාරය ලෙස තම්බාගත් බිත්තර කහ මදය( egg yolk) සුලු ප්‍රමාණයක් බැගින් දිනකට වේල් 2-4 ත් අතර ලබා දිය හැක..දින කිහිපයකට පසු artemiaහෝ micro worm ලබා දිය හැකි අතර ජලයේ ගුණාත්මක බව කෙරෙහි ද සැලකිලිමත් විය යුතුය..සජීවී ආහාර ලබා දීම කුඩා පැටවුන්ගේ ඉක්මන් වර්ධනයට උපකාරී වේ...සති 5 ක් පමණ වූ කුඩා පැටවුන්ගේ ගැහැණු හෝ පිරිමි බව ඔබට පහසුවෙන් නිරීක්ෂණය කළ හැක...සති කිහිපයක් වූ පැටවුන් හට ක්‍රමයෙන් කෘත්‍රිම ආහාර ද හුරු කරවිය හැකි අතර දිනකට ලබා දෙන ලද වේල් ගනණ ක්‍රමයෙන් අඩු කර අවසානයේ ආහාර වේල් 2 ක් පමණක් ලබා දිය හැක....මාස 4ක් පමණ වූ පැටවුන් ඔවුන්ගේ මා පියන් මෙන්ම ආක්‍රමණයශීලී ගති පැවතුම් පෙන්නුම් කරනු ලබන අතර මේ අවස්ථාවේ දී පිරිමි මත්ස්‍යයන් පමණක් තනි තනිව වෙන් කිරීම සිදුකල යුතුවේ...
ඔබත් උත්සාහ කර බලන්න..පහසුවෙන්ම අභිජනනය කළ හැකි සියම් දේශයේ සුන්දර සටන්කාමියා හෙවත් කවුරුත් දන්නා "fighter fish" ලිපි පෙළ කියවූ ඔබ සැමට ස්තුති...!! 


රචනය - අකීෂා ප්‍රභාෂ්වි

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...