Search here..

Sunday 27 September 2020

අනතුරුදායක දියවැල් - Rip currents


දියවැල් නිසා ඇතිවන අනතුරු ගැන ඔබ දැනටමත් අසා  ඇති.. මේ දියවැල් ඇතිවෙන්නේ කොහොමද? කොහෙද? දියවැලකට අහුවුනොත් බේරෙන්නේ කොහොමද? ආදී කරුණු කිහිපයක් ගැන අපි විමසා බලමු.

මොනවද මේ දියවැල්?

මුහුදේ හෝ වෙනත් ජල ප්‍රභවයන්හි ඇතිවන ඉතා වේගවත් ශක්තිමත් ජල පහරක් දියවැලක් ලෙස හඳුන්වන්න පුළුවන්. දළ වශයෙන් දියවැලක වේගය තත්පරයට මීටර් 2 ක පමණ අගයක් ගන්න පුළුවන්. එතරම් වේගවත් දියවැල් වලින් බේරීම පහසු කාර්යයක් නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.   

වැඩිපුර ඇතිවෙන්නේ කොහෙද?

බොහෝවිට දියවැල් ඇති වන්නේ රළ නැගෙන බිඳෙන ක්‍රියාවක් වන ජල ප්‍රභවයන් වලයි. එනම් වෙරළ ආශ්‍රිත මුහුදේ. විශාල වශයෙන් ජනයා එක්රැස්වන මුහුදු වෙරළවල් ආශ්‍රිතව ද දියවැල් ඇති වෙන්න පුළුවන්. එවැනි හඳුනාගත් ස්ථාන බොහොමයක ජීවිත ආරක්ෂක කඳවුරු පිහිටුවා තිබෙනවා.

දියවැල් ඇතිවෙන්නේ කොහොමද?

බොහෝවිට දියවැල් ඇතිවීම සිදුවන්නේ වෙරළට පැමිණෙන මුහුදු රළ බිඳී ආපසු මුහුදට ගමන් කිරීමේදී නොගැඹුරු වැලි වැටි අතරින් ගමන් කරන විටයි. එසේ නොගැඹුරු වැලි වැටි දෙකක් අතර පවතින තරමක් ගැඹුරු හිඩැසකින් මෙම බිඳුණු රළ ගමන් කිරීමේදී එහි වේගය ක්‍රමයෙන් වැඩිවී ශක්තිමත් දියවැලක් බවට පත්වෙනවා.

දියවැල් හඳුනාගන්නේ කොහොමද?



 දියවැල් හඳුනාගැනීම තරමක් අපහසු කාර්යයක්. බොහෝවිට දියවැලක් සාපේක්ෂව අඳුරු පැහැයක් ගන්නා අතර වැලි හෝ මඩ සහිත ස්වභාවයක් ද දකින්න පුළුවන්. එමෙන්ම දියවැල් සහිත ප්‍රදේශ සාපේක්ෂව රළ බිඳුම් අඩු නිසසල ස්වභාවයක් ගන්නවා. ඒ හේතුවෙන්ම එවන් නිසසල ස්ථාන පිහිනීමට සුදුසුයැයි දියවැල් පිලිබඳ නොදැනුවත් අයෙක් වරදවා වටහාගන්න පුළුවන්. 

දියවැලකින් බේරෙන්නේ කොහොමද ?


තමන් දියවැලකට අසුවුවහොත් දියවැල ගමන් කරන දිශාව හඳුනාගැනීම ඉතා වැදගත් වෙනවා. මන්දයත් ඔබ කෙතරම් දක්ෂ පිහිනුම් ශුරයෙක් වුවත් දියවැලට විරුද්ධව පිහිනීමෙන් දියවැලකින් බේරීම ඉතා අපහසු වෙනවා. දියවැලකින් බේරීමට දියවැල ගමන් කරන දිශාව හඳුනාගෙන දියවැලට හරස් අතට පිහිනීමෙන් දියවැලකින් ගැලවීමට හැකියාව ලැබෙනවා.


එමෙන්ම දියවැල් සහිත ස්ථානවල පිහිනීමට නොයාමෙන් , දියවැල් ඇතිවීමේ ස්වභාවයන් හදුනාගැනීමෙන්, ජිවිත ආරක්ෂකයන් සහිත ආරක්ෂාකාරී ප්‍රදේශවල පමණක් දියනෑමට යාමෙන් දියවැල් නිසා ඇතිවන අනතුරු වලක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

මෙවන් ලිපි මගින් අවධානම් තත්ත්ව පිලිබඳ සමාජ දැනුවත් භාවය ඇතිකිරීමෙන් ඇතිවියහැකි අනතුරු වලක්වාගැනීමට හැකිවන බව අපගේ විශ්වාශයයි.

රචනය : ඉසුරු උමේෂ රවිසංක 


මූලාශ : https://oceanservice.noaa.gov

            https://scijinks.gov/rip-currents




Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...