Search here..

Wednesday 23 December 2020

Colombo Port City - Part 2 "කොළඹ වරාය නගරය"

Colombo Port City -  දෙවන කොටස

ඉදිකිරීම සැලසුම්, පාරිසරික බලපෑම් සහ විසඳුම්

මෙම ව්‍යාපෘතියේ මූලික වශයෙන් සලකාබලනු ලබන කරුණක් වන්නේ සාගර කලාපය ගොඩ කිරීමේ දී එම ගොඩ කිරීම සඳහා භාවිතා කරනු ලබන වැලි ලබා ගැනීම යි. මේ සඳහා ගංගා හෝ වෙනත් නිෂ්පාදන මඟින් උපදවා ගනු ලබන වැලි භාවිතා කර ගත නොහැක. ඒ සඳහා වෙරළබඩ මුහුදු වැලි භාවිතා කිරීම සිදු කරයි. මෙම ගොඩකිරීමේ කටයුතු සඳහා වැලි කියුබික් මීටර් මිලියන 65 ක ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම වැලි වත්තල - දඹගමවත්ත හා මීගමුවේ බාසියාවත්ත අතර වෙරළබඩ තීරයට ඔබ්බෙන් ලබා ගනු ලබයි.

වැලි කැනීම සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශවල මුහුදු පත්ලේ විශාල වැලි ස්තරයක් පවතින අතර එහි මුහුදු තෘණ බිම් හෝ මත්ස්‍ය ආකර්ෂණය කරගන්නා කොරල් පර හෝ පිහිටා නොමැත.

ඉහත සඳහන් ප්‍රදේශ දෙක අතර වර්ග කිලෝමීටර් 100ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වැලි කැණීම් කටයුතු සිදු කරනු ලබයි. එහි ඇස්තමේන්තු ගත පරිදි කියුබික් මීටර් මිලියන 112 වඩා වැඩි ප්‍රමාණයක් පවතින අතර එය වරාය නගරය සදහා අවශ්‍යතාවය මෙන් දෙගුණයකි.

මෙහි වැලි කැණීම් කටයුතු සඳහා නාරා ආයතනය විසින් මාර්ගෝපදේශන මාලාවක් ලබා දී ඇති අතර එහිදී මූලික වශයෙන් අවධානය යොමු කොට ඇත්තේ සාගර කලාපයට සහ ධීවර කටයුතු වලට සිදුවන බලපෑම අවම කිරීම යි. 

ඒ අනුව මෙහිදී වැලි කැණීමේ කටයුතු සිදුකරනු ලබන්නේ වෙරළ තීරයට කිලෝමීටර් 3 ක් ඔබ්බෙන් සහ මීටර් 15 කට වැඩි ජල ගැඹුරක් සහිත ප්‍රදේශවලින් පමණි.

මෙම සාගර කලාපයේ පතුල නිරීක්ෂක මගින් සිදු කරනු ලැබූ දෘශ්‍ය සමීක්ෂණයකින් පැහැදිලිව ඇත්තේ එහි මුහුදු තණකොළ හෝ කොරල් පර හෝ නොමැති බවත් මෙනිසා මත්ස්‍යය අභිජන ය සඳහා හිතකර පරිසරයක් නොපවතින බවත් ය.

තවද නිර්දේශිත ක්‍රමවේදයට අනුව වැලි ලබා ගැනීම සඳහා Trailing Suction Hopper Dredger 4 ක් යොදා ගෙන වැලි කැණීමට අවසර ලබා දී ඇති අතර එමගින් ලබාගන්නා වැලි අදාළ ප්‍රදේශවලට ගෙනැවිත් පතුල විවෘත කිරීම හා පොම්ප කිරීම මගින් නිදහස් කරයි. එසේ නිදහස් කරනු ලබන වැලි, තලන උපකරණ ආධාරයෙන් සම්පිණ්ඩණය කෙරේ. මෙහිදී විශාල කම්පනයක් ඇති වන බවත්, ගණනය කිරීම් වලට අනුව එමගින් ප්‍රධාන භූමියට බලපෑමක් නොමැති බවත් සඳහන් වේ..


එය එසේ නමුත් ධීවරයන් සඳහා මත්ස්‍යයන් ඇල්ලීමේ කටයුතුවල දී ඔවුනට මෙම වැලි කැණීමේ ප්‍රදේශ වලට ළඟා විය නොහැකි අතර එමගින් ඔවුන් ගේ මත්ස්‍ය අස්වැන්නට බලපෑමක් සිදු ව ඇත.

කොළඹ දකුණ වරාය ව්‍යාපෘතියෙදී 5 km දිගැති දියකඩනයක් වෙරලට 2 km දුරින් ඉදි කර තිබූ අතර එමගින් කොළඹට උතුරින් ප්‍රදේශය ඛාදනය විය හැකි යැයි ගණනය කර තිබූ නමුත් පසුගිය වසර කීපය තුළදී එසේ කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව සඳහන් වේ. දියකඩනය නිසා සාගර තරංග උතුරු දෙසට විහිදෙන අතර එමගින් එම තරංග බලපෑමේ අඩුවක් පවතී යයි පැවසේ.

එසේම CPC ව්‍යාපෘති යටතේද එම නගර ආරක්ෂාව සඳහා තවත් දියකඩනයක් ඉදිකොට ඇත. මීටර් 3245 දිගැති මෙම දියකඩනය නගරය වටා ඉදි කොට ඇති අතර එය උසින් මීටර් 25ක් පමණ වේ. මේ ඉදිකිරීම සඳහා කළුගල් කියුබ් මිලියන 345 යොදාගෙන ඇති අතර මෙය මෙරට පිහිටි පිළිගත් ගල් කොරි 11 කින්, එනම් රටේ සමස්ත කඵ ගල් නිෂ්පාදනයෙන්  7% පමණ මේ සඳහා යොදාගෙන ඇත.


මෙම ව්‍යාපෘතියෙහි තවත් එක් ගැටලුවක් වන්නේ මළ අපද්‍රව්‍ය යි. ඒ සඳහා මෙම ව්‍යාපෘතියෙහි මළ අපවහන පද්ධතියක් ක්‍රියාත්මක වන අතර එහිදී සියලුම මළ අපද්‍රව්‍ය එක්රැස්කොට පිරිපහදු කර ජලය ලෙස ගෙන ඒවා ඉවත් කිරීමට සැලසුම්කර ඇත.

එසේම අපජල පිරිපහදු ඒකක, පානීය ජල පිරිපහදු ඒකක වැනි ජල පිරිපහදු කිරීමේ ඒකක ද ඉදිකිරීමට සැලසුම්කර ඇත. තවද භූගත නල මාර්ග ඔස්සේ ගොඩනැගිලිවල මුලුතැන්ගේ දහන කටයුතු සඳහා අවශ්‍යකරන ඉන්ධන ලෙස ගෑස් ලබාදීමට ද කටයුතු කරනු ඇත.

තවද මෙහි අනාගත සැලසුම් ලෙස බේරෙ වැවෙහි පිටවානේ 50m ක් පමණ කොටසක් ඉතුරු වන පරිදි  එහි බැම්ම ඉදි කරවනු ලබන අතර එවිට එම ප්‍රදේශයට පැමිණෙන වැලි සියල්ල ගාලු මුවදොර කෙළවරෙහි රැඳවිය හැකි යැයි පැවසේ. එමගින් නොගැඹුරු සාගර කලාපයක් එහි නිර්මාණය කළ හැකි බවත් එය වෙරළ තීරයක් ලෙස විනෝදාස්වාදය සඳහා යොදා ගත හැකි යැයි ද පැවසේ.

එසේම මෙම නව නගරයට පිවිසීමේ මංමාවත් සංවර්ධනය කරනු ලබන අතර එහිදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වරාය චෛත්‍යය පාර හරහා වරාය නගරයට සම්බන්ධ වන පරිදි ඉදි කරනු ලබන අතර තවත් අධිවේගී මාර්ගයක් වරාය ප්‍රදීපාගාරයේ සිට උමං මාර්ග ඔස්සේ සාගර කලාපයෙන් කොල්ලුපිටිය දක්වා පිවිසිය හැකි වන පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇත.



මෙලෙස ඉදිවන කොළඹ වරාය නගරයේ සෑම විටම පාරිසරික බලපෑමක් සහ එහි ඉදිකිරීම් ප්‍රමිතිය අධ්‍යයනය කිරීමට තෙවන පාර්ශවයක් සිටින අතර එමඟින් ව්‍යාපෘතියේ ඵලදායී බව ඉහළ නංවා ඇත. 

මෙලෙස ඉදිවෙන වරාය නගරය ඇත්තෙන් ම අනාගතයේ දී තවත් එක් සාගර කලාපයේ නුදුරින් පිහිටි නගරයක්ම පමණක් වන බව පැහැදිලිය.

 

 

 

රචනය : සංජය තිලකරත්න

 

මූලාශ්‍ර :

https://blog.realinstitutoelcano.org/en/is-sri-lanka-caught-in-chinas-debt-trap-a-view-from-the-ground/

https://www.dailypost.lk/green-zone-coming-to-life-in-port-city/

https://www.portcitycolombo.lk/land-plots/

https://confluence.qps.nl/qinsy/latest/en/trailing-suction-hopper-dredger-tshd-object-definitions-54878709.html
Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...