Search here..

Friday 4 December 2020

ලෝකයේ පිරිසිදුම ජලය ඇත්තේ කොහෙද? සයිබීරියාවේ මුතු ඇටය (Lake Baikal)

    ලෝකයේ විශාලතම රට ලෙස හැදීන්වුනු රුසියාව තුළ පිහිටා තිබෙන දිග කිලෝමීටර් 636 හා පළල කිලෝමීටර් 80 කින් යුතු බයිකල් විල ලොව ගැඹුරුතම (1637 m) විල ලෙස හදුන්වනවා. බයිකල් යන වචනයේ තේරුම නම් සමුද්‍රය යන අර්ථයයි. බයිකල් විල ලොව විශාලතම මිරිදිය විල නොවුනද විශාලත්වය හා ගැඹුර යන කාරණා දෙකම සැලකීමෙදි බයිකල් විල දෙවෙනි කලහැකි මිරිදිය පොකුණක් මිහිපිට නැත. බයිකල් විල් දියේ යාත්‍රා කරන නාවිකයන් සිය ගමන් හදුන්වන්නේද මුහුදු ගමනක් ලෙසිනි. ලොව පැරණිතම විල ලෙස හැදින්වෙන බයිකල් විල ඇතිවී තිබෙන්නේ මීට අවුරුදු බිලියන 2.5 කට පෙර සයිබීරියානු භූතැටිය සහ යුරේෂියානු භූතැටිය එකිනෙක ගැටීමෙන් ඇතිවුණු විශාල විභේදනයට ජලය පිරීමෙනි. 

    එම නිසා බයිකල් විල යනු භූතැටි මායිමක පිහිටි විලකි. මෙම විලෙහි ගැඹුර සාපේක්ෂව වැඩිවීමට හේතුවද එයම වේ. පෘථිවි පෘෂ්ටයේ ඇති ද්‍රව ජලයෙන් පහෙන් එකක් පමණ ඇත්තේ බයිකල් විල තුලය. එය පංච මහා විල් වල ඇති ජලය පරිමාවටත් වඩා වැඩිවේ. ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලයේදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -19 දක්වා අඩුවන අතර ඒ වන විට අඩි තුනත් හතරත් අතර ප්‍රමණයක අයිස් තට්ටුවක් විල මත සෑදේ. 


    බයිකල් විලේ ජලය ඉතාමත් පිරිසිදු මෙන්ම පැහැදිලි වේ. එම නිසා බයිකල් විලේ ජලය හරහා මීටර් 50ක් පමණ ගැඹුරට ඉතා පහසුවෙන් දැකගැනීමට හැකිවේ. මුළු පෘථිවියේ මිරිදිය ජලයෙන් සියයට 20 ක් අඩංගු බයිකල් විලට ගංගා හා ඇළ දොළ 300 කට අධික ප්‍රමාණයකින් ජලය සපයනු ලැබේ. එහෙත් බයිකල් විලෙන් ජලය සපයනු ලබන්නේ අංගාරා ගඟට පමණි. මීට දශක දෙකකට පමණ පෙර බයිකල් විල් ජලයේ පිරිසිදුබව පරීක්ෂා කිරීමට ජල සාම්පල ලබාගෙන ඇති අතර පරීක්ෂණය අවසානයේ තහවුරු වී ඇත්තේ අදාල ජල නියැදිය අපිරිසිදු වී ඇත්තේ පරීක්ෂණ නලයේ විෂබීජ නිසා පමණක් බවයි.

 
    බයිකල් විලේ ජලය පිරිසිදු වීමට හේතු රැසකි. පෙර සදහන් කළ ආකාරයට බයිකල් විල පිහිටා ඇත්තේ භූතැටි මායිමක වේ. මේ භූතැටි කෙමෙන් ඈත් වෙමින් පවතින බැවින් විලේ එකතුවන රොන්මඩ භූතැටි මායිම ඔස්සේ පතුලට කිඳාබසියි. එම නිසා බයිකල් විලෙහි රොන්මඩ නොමැත. එමෙන්ම විලෙහි ජීවත් වෙන කුඩා කකුළු විශේෂයක් විසින් විල් ජලයේ ජිවත් වෙන බැක්ටීරියා සහ ඇල්ගී විශේෂ ආහාරයට ගනී. ඒ නිසා එහි ජලය දුර්වර්ණ වීම වලකී. එසේම විල තුල ජීවත්වෙන කුඩා මිරිදිය පොකිරිස්සන් විශේෂයක් සහ මත්ස්‍ය විශේෂයක් විසින් බයිකල් විලෙහි එකතු වෙන අපද්‍රව්‍ය ආහාරයට ගනී. එම නිසා එම අපද්‍රව්‍ය දිරාපත්වීමෙන් ජලය අපවිත්‍ර වීම සහ දුර්ගන්ධවීම වලකී.

                          

    බයිකල් විල එයටම පමණක් ආවේණික වූ ජලජ ජීවී විශේෂ 1700 කට පමණ නිවහන සපයයි. මේ අතරින් බයිකල් විලටම පමණක් ආවේණික වූ මිරිදිය සීල් මත්සයින් ප්‍රධාන තැනක් ගනී. මුළුමනින්ම මිරිදියෙහි ජීවත් වන එකම සීල් විශේෂය මෙයයි. මෙම මිරිදිය සීල් මත්සයින් බයිකල් විලට පමණක් සීමා වීම තරමක් විශ්මිත කරුණක් වන්නේ සීල් කුලයේ අනෙක් සීල් මත්සයින් වන කරදිය සීල් මත්සයින් ජීවත් වන්නේ බයිකල් විලේ සිට කිලෝමීටර් 3000 කටත් එහායින් වීම නිසාවෙනි. සාමාන්‍ය විලක මෙන් නොව බයිකල් විලෙහි ගැඹුරු ජලයෙහි පවා හොදින් ඔක්සිජන් වායුව පවතී. බයිකල් විලෙහි දියවැල් සිරස් සහ තිරස් අතට ගමන් කිරීම මෙයට හේතුව වේ. මේ නිසා බයිකල් විලෙහි ගැඹුරු ජලයෙහි පවා ජීවීන් වාසය කරති. විශාල ජෛව පද්ධතියකට උරුමකම් කියන බයිකල් විල මේ වන විට යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. බයිකල් විල සතුව දූපත් 27ක් තිබෙනවා. එම දූපත් වලින් වැඩි ප්‍රමාණයක් ජනශුන්‍ය වන අතර මින් විශාලතම දූපත වන කිලෝමීටර් 45ක් දිගැති හොරොකොන් දූපතේ ගම්මානයක් පිහිටා ඇති අතර එහි මිනිසුන් 1500ක් පමණ ජීවත් වේ.


Written by: Imansala Udeshani


References - https://www.tcsworldtravel.com/article/discover-russias-lake-baikal



Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...