Search here..

Friday, 16 July 2021

රිටිපන්න ධීවරයා අභියෝග මැදින් සියවස් තුනකට


ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් වශයෙන් මහා සාගරයකට උරුමකම් කියන රටකි. ඒ සාගර සම්පත ධීවර කර්මාන්තයට මං පාදන්නකි. ධීවර කර්මාන්තයේ ප්‍රභේද අතරින් රිටිපන්න ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවට ආවේණික වූ පාරම්පරික , සම්ප්‍රදායික ක්‍රමයකි. රිටිපන්න ධීවර කර්මාන්තය ඇමක් නොමැතිව බිලීබාන එකම ක්‍රමයයි.


 රිටිපන්න ධීවර ක්‍රමයේ ආරම්භය 

රිටිපන්න ධීවර කර්මාන්තයේ ඉතිහාසය විමසා බලන විට වසර 100-150 ක අතීතයට දිව යන්නකි. ජන මූලාශ්‍රවලට අනුව මෙම රිටිපන්න ක්‍රමය ඉන්දියාවෙන් පැමිණි ‘කල්ලන්’ නැමැති මිනිස් කණ්ඩායමක් විසින් මාතර ගාන්ධාර වරායේ ආරම්භ කොට ඇත. ඉන් පසු ශ්‍රී ලාංකික ජනයා මෙම ධීවර කර්මාන්තයට හුරු වූ බව ජන මූලාශ්‍රවල සඳහන් වේ.

 

බහුලවම දක්නට ලැබෙන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව ගැන සැළකීමේ දී රිටිපන්න ධීවරයා, ධීවර කර්මාන්තයේ ධරණීය පැවැත්ම තහවුරුකරන්නෙකු ලෙස හැදින්වීම නිවරුදිය. ගොඩබිම සිට වෙරළාසන්න මුහුදු තීරයෙන් වැලිගම, කළුකන්ද, මිදිගම, දේදුව, ගොවියාපාන, අහංගම,කබලාන,අරංගල, කොග්ගල ,දලවැල්ල, යන ස්ථානවල රිටිපන්න ධීවරයා ක්‍රියාත්මක වන අයුරු දැකිය හැකිය.

ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක් තුළ රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයා දැකීම පවා මනස්කාන්ත දසුනක් බව පරිසරවේදියෝ පවසති. හිරු බැසයන සන්ධ්‍යා භාගයේ මෙම කර්මාන්තයේ නිරත වන ධීවරයාගේ දසුන කැමරාකරුවන්ගේ නෙතට හසුවන පොදු කැමරා කෝණයක් ලෙස අර්ථ දැක්වීම නිවැරදිය.  


භාවිතා කරන උපකරණ 

ඇමක්‌ නැති ව බිලීබාන මෙම බිලීකටුව ලෝකයේ නවීන තාක්‍ෂණයෙන් දියුණු ජපානය, චීනයකොරියාව වැනි රටවලටත් තවමත් නිපදවා ගැනීමට නොහැකි වී තිබේ. රිටිපන්න ධීවර කර්මාන්තයෙහි නිරත වීම සඳහා බිලී පිත්තක්, බිලී කටුවක්, සහ රිටක් යොදාගනු ලබනවා. එම එක් එක් උපකරණය සාදාගැනීම සඳහා ධීවරයන් අනුගමනය කරන්නේ ඔවුන්ටම ආවේණික වුණු ක්‍රම යි.

 

1. බිලී පිත්ත 

බිලී පිත්ත සෑදීම සඳහා යොදාගනු ලබන්නේ කිතුල් ලීය යි. මුලින්ම කිතුල් ගස්වල අතු කඩා ඒවා අව්වේ වේලා ගනු ලබනවා. ඉන් අනතුරුව ගින්දරින් රත්කර පිත්ත නැවෙන අයුරින් සකස් කර ගන්නවා. උපරිම දිග මීටර් 2ක් පමණ වන කිතුල් පිත්තට අමුණන ලණුව සඳහා තංගුස් නූල් භාවිතා කරනවා. නමුත් අතීතයේ දී ධීවරයින් ඒ සඳහා අන්නාසි කොළයේ කෙඳි යොදාගනු ලැබුවා.

2. බිලී කටුව 

බිලීකටුව සාදාගැනීමට අච්චුවක් වශයෙන් දැලිපොත්ත භාවිතා කරනවා. දැලිපොත්ත යනුවෙන් හඳුන්වන්නේ  දැල්ලාගේ පිට ආවරණය යි. වෙරළේ දී සුලභව හමුවන දැලිපොතු එකතු කරගන්නා ධීවරයින් ඒවා මිරිදියෙන් සෝදා සති තුනක් පමණ දුමෙහි තබා වියළා ගන්නවා. ඉන් අනතුරුව දැලිපොත්ත කුඩා කැබලිවලට කපා එම කුඩා කැබලි ගල් ලෑල්ලක තබා ගින්දර මඟින් රත්කරනු ලබනවා. එලෙස රත්කිරීමෙන් පසුව බිලී කටුවෙන් අච්චුව සාදා ගන්නා අතර, උණු කරගත් සුදු ඊයම් දියරය අච්චුවට වත්කරනවා. එම ක්‍රියාවලිය අවසන් වී විනාඩි 5ක් පමණ ගතවන විට අච්චුවෙන් බිලී කටුව ගලවා ගත හැකියි. 

3. රිට 

මුල් යුගයේ දී ඇලස්ටෝනියා ලීයෙන් සෑදූ රිටක් රිටිපන්න ධීවර කර්මාන්තය සඳහා භාවිතා කරනු ලැබුවා. නමුත් වර්තමානය වන විට කඳුරු, කඩොල් වැනි ලී වර්ගයකින් සෑදූ රිටක් හෝ ගැල්වනයිස් බටයක් ඒ සඳහා යොදාගන්නවා. වඩාත්ම අපහසු කාර්යය වන්නේ එම රිට නොගැඹුරු මුහුදේ සිටවීම යි.

       


රිටිපන්න ක්‍රමයෙන් මසුන් අල්ලන ආකාරය 

රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ කැළඹිලි රහිත මුහුදු තීරය යි. මුලින්ම තියුණු ලෙස උල්කර තිබෙන රිට කොරල්පරවල ඇති සිදුරුවලට තබා  සෙ.මී 5-8ක් පමණ ගැඹුරට සිටවනු ලබනවා. එහි දී රිට අවට ගල්පතුරු තබා ශක්තිමත්ව සවි කිරීම සිදුකරනවා. එම රිටෙහි පොත්ත නොගලවා සවි කිරීමට ධීවරයන් පුරුදු වී සිටින්නේ රිටෙහි දිය සෙවල බැඳීම නිසා මත්ස්‍යයන් එම රිට ආසන්නයට පැමිණෙන නිසා යි. බොහෝ විට දිය සෙවල කෑමට එන මත්ස්‍යයින් රිටිපන්න ධීවරයාගේ බිලී පිත්තට පහසුවෙන් හසුවන නිසා ඔවුන් එම උපක්‍රමය අනුගමනය කරනවා. ඉන් පසුව කරුව සවි කිරීම සඳහා ලී දෙකක් ශක්තිමත්ව, සමාන්තරව තබා ලණු හෝ රෙදිපටිවලින් ගැට ගසා සවිකර ගන්නවා. එහි දී ඉතාමත් ශක්තිමත් ඇටමිල්ල වැනි ලීයක් හරස්ලීය ලෙස යොදා ගන්නවා. ඇතැම් අවස්ථාවල කරුවක් සහිත ලීයක් ගැනීම වඩාත් යෝග්‍ය බව ඔවුන්ගේ අදහස යි. එවැනි අවස්ථාවක් නොමැති විට ඉතා ශක්තිමත් ලී දෙකක් හරස් ලීය මත බැඳ ගන්නවා. ධීවරයා මසුන් ඇල්ලීමේ යෙදෙන්නේ එම හරස් ලීය මත සිටගෙන යි. මෙහිදී ධීවරයින්ට බහුලවම හමුවන්නේ කුම්බලාවා, කෝරලුවා, ඇහැලම්බරුවා, කොරඹුරුවා, බොල්ලන්, හුරුල්ලා, සාලයා වැනි මත්ස්‍ය විශේෂ යි.

රිටිපන්න ධීවරයාට වසර පුරාම මත්ස්‍ය අස්වැන්න ලබාගත හැකිවීම විශේෂත්වයකි.ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්ම තහවුරු කරන මව් මත්ස්‍ය ගහණයේ පැවැත්ම යම් ප්‍රමාණයකින් හෝ ආරක්ෂා කරනු ලබන්නේ රිටිපන්න ධීවර කර්මාන්තයෙනි. මත්ස්‍යයන් රංචු වශයෙන් පැමිණෙන ස්ථානවල කාල වේලාව ධීවරයන් තම අත්දැකීම් වලින් දැන හඳුනා ගෙන ඇත්තේ කාලයක් එම ක්ෂේත්‍රයේ නියැලීමෙනි. ඉතා කෙටි කාලයක් තුළ මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයා පෙරවරු5.30 සිට පස්වරු 5.00 .ත් 6.00 ත් අතර වැඩි වශයෙන් රැකියාවේ නිරතවනු දැකිය හැකිය.





රිටිපන්නයට ආකර්ෂණය වී සිටින විදෙස් සංචාරකයින් 

රිටිපන්න කර්මාන්තයේ යෙදෙන ධීවරයින් යනු විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය

නොමඳව දිනාගෙන සිටින පිරිසක්. බොහෝ විට විදෙස් සංචාරක නඩයක් පැමිණි විට

 ඔවුන්ගේ ඡායාරූපවලට පෙනී සිටීමෙන් මෙම ධීවරයින්ට යම් මුදලක් හිමිවනවා.

එසේම විදෙස් සංචාරකයින් රිට මතට නැග බිලී පිත්ත අතට ගෙන ඡායාරූපවලට පෙනී සිටීන්නේ ධීවරයින්ට වැඩි මුදලක් ලබාදෙමින්. එම නිසාම පසුගිය කාල සමයේ රිටිපන්න ධීවරයින්ට සංචාරකයන්ගෙන් ලැබෙන මුදල් ප්රධාන ආදායම් මාර්ගයක් වුණා.




රිටිපන්න ධීවර කර්මාන්තය අභාවයට යමින් තිබෙනවා 

 මුහුදු දිය අතරමැද රළපහර සමඟ ගැටෙමින් එක් රිටක සමබරව හිඳ මාළුබාන මෙම ධීවරයාගේ ජීවන රටාව නම් එතරම් සුන්දර නැත. අතීතයේ සිට තම දවසේ වියදම සොයාගැනීමට රිටිපන්න වෘත්තීය වෘත්තියෙහි නියැළුණු මොවුන් පසු කලෙක අපට උරුම වූ රිටිපන්න ක්‍රමය විදේශීයන්ට සංචාරක කර්මාන්තයක් ලෙසද සිදු කළේය. නමුත් ගැඹුරු මුහුදේ සිදු කරන බහුදින යාත්‍රා මගින් මාළු ඇල්ලීම හා දැල් ක්‍රමය හේතුකොටගෙන නොගැඹුරු වෙරළ තීරයට කුඩා මාළු වර්ග පැමිණීම ඉතා අඩු වී ඇත. රිටිපන්න ධීවරයන් දකින ආකාරයට එය මෙම වෘත්තියට මරු පහරක් එල්ල කොට ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ රිටිපන්න ධීවරයින් විදෙස් සංචාරකයන්ගෙන් මුදල් ලබාගැනීමේ අරමුණෙන් රිටිපන්න ධීවර කර්මාන්තයේ යෙදෙනවා.

නමුත් රිටිපන්න ධීවරයාගේ බලාපොරොත්තුව මෙම වෘත්තිය ධීවරකර්මාන්තයක් ලෙස ම ඉදිරියට සිදු කිරීමටය.මෙම රිටිපන්න වෘත්තිය කර්මාන්තයක් වශයෙන් ධීවර අමාත්‍යාංශයට යටත් වේ. පරිසරයට හානියක් නොකර සිදුකරන මෙම අපූරු පන්න ක්‍රමය අභාවයට යාම කණගාටුදායක තත්ත්වයක්. එම නිසා රිටිපන්න ධීවරයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම අදාල බලධාරීන්ගේ වගකීමක් වනවා. ඔවුන් නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් මෙම ධීවර ක්‍රමය ආරක්ෂා කරගතහොත් රිටිපන්න ධීවරයා මසුන් අල්ලන අපූරු දසුන අනාගත පරපුරටත් දැකගැනීමට හැකිවනු ඇති. ශ්‍රී ලංකාවට උරුම වූ දකුණු ලක සුන්දරත්වය විදහා පාන පාන මෙම රිටිපන්න ධීවර කර්මාන්තයේ හා ධීවරයාගේ මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරිපත් වන්නේ කවුරුන්ද ?


Written by: imansala udeshani

References:

https://prabathfunny.blogspot.com/2017/08/blog-post_1.html?m=1

http://sinhala.newsslbc.lk/?p=8233

http://exoticislandtours.com/sri-lanka/attractions/stilt-fishing/

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...