Search here..

Saturday 31 July 2021

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය විද්‍යාත්මක කලාප

1982 දී ආචාර්ය රනිල් සේනානායක හා මහාචාර්ය පීටර්.බි.මොයිල් යන විද්වතුන් විසින් ශ්‍රී ලංකාව ප‍්‍රධාන මත්ස්‍ය විද්‍යාත්මක කලාප 4කට බෙදා වෙන් කරනු ලැබුනි. ප‍්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව තුලින් වාර්තා වී ඇති මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව හා ඔවුන්ගේ පරිණාමීය බන්ධුතාව මෙම වර්ගීීකරණය සඳහා පාදක කරගෙන ඇත. එලෙස වෙන් කරන ලද කලාප වනුයේ,


01.නිරිත දිග කලාපය (South Western Province)
02.වියළි කලාපය (Dry Zone Province)
03.අතරමැදි කලාපය(Transition Province)
04.මහවැලි කලාපය (Mahaweli Province)

01.නිරිත දිග කලාපය

මෙය ඉහත කලාප අතරින් වැදගත්ම කලාපයයි.අත්තනගලු නිම්නය ඇතුළුව පිළිවෙලින්,දකුණු දිගින් කැළණි,කළු,ගිං,නිල්වලා යන ප්‍රධාන ගංගා සහ කුඩා ගංගා නිම්න වලින් සමන්විත ප්‍රදේශය මෙම කලාපයට අයත් වේ. ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ 27ක් ඇතුලත්ව මත්ස්‍ය විශේෂ 59ක් මෙම කලාපයෙන් වාර්තා වී ඇත,ඉන් 22ක් මෙම කලාපයට ආවේණික වන අතර මෙම 22 අතරින් 20ක්  ශ්‍රී ලංකාවට ආවේණික වේ.

උදා:-
                    
Aplochellus dayi(උඩ හඳයා) 


Puntius titteya(ලේ තිත්තයා)



02.වියළි කලාපය

මෙම කලාපය මහවැලි කලාපය මගින් ප්‍රධාන කොටස් 2කට වෙන්වෙයි.

 • ගිණිකොන දිග වියළි කලාපය
 • උතුරු හා වයඹ වියළි කලාපය

නිරිත දිග හා මහවැලි කලාපයට අයත් ගංගා ද්‍රෝණි හැර වියළි කලාපය තුල ගලනා සියලුම ගංගා ද්‍රෝණි වේ.මෙම කලාපයෙන් මත්ස්‍ය විශේෂ 37ක් වාර්තා වී ඇති අතර ඉන් 5ක්  ශ්‍රී ලංකාවට ආවේණික වේ.
නමුත් මෙම විශේෂ 37 අතරින් එකඳු විශේෂයක් වත් මෙම කලාපයට ආවේණික නොවේ.මෙම කලාපයේ බොහෝ මත්ස්‍ය විශේෂ ඉන්දියානු අර්ධද්වීපයෙන්ද වාර්තා වන අතර පරිණාමීයව ඉතා සමීප බන්ධුතාවක් දක්වයි.

උදා:-
               
Mystus gulio (මාන අංකුට්ටා/අඟුලුවා)    


  Mystus cavasius (පත් අංකුට්ටා)


 
03.අතරමැදි කලාපය

තද බෑවුම් සහිත දෙවන අඩතැන්නට අයත් මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශ මෙම කලාපයට අයත් වේ. මෙම ප්‍රදේශයේ ඇති ඇතැම් දිය පහර වලට ආවේණික මත්ස්‍ය විශේෂ 03ක් උපයෝගී කරගනිමින් පර්යේෂණ මට්ටමේ හඳුන්වාදීම් කිහිපයක් සිදු කර ඇත. මෙම කලාපයේ පවතින ජල ප්‍රවාහයන්ගේ වේගවත් බව හේතුවෙන් මත්ස්‍ය විශේෂ රඳා පැවතීමේ  හැකියාව අඩු වී ඇත.

උදා:-

Xiptrophorus hellerii (සෝවෝඩි ටේල්/කඩු පහරා) 



Poecilla reticulata(වෙල් ගප්පි)



04.මහවැලි කලාපය

නිරිත දිග කලාපයට පසුව මෙම කලාපය වැදගත්ම මත්ස්‍ය විද්‍යාත්මක කලාපය ලෙස හඳුන්වයි.දුම්බර හා මධ්‍යම කඳුකරයේ සිට ත්‍රිකුණාමලය දක්වා වු මහවැලි නදී නිම්න ප්‍රදේශය මෙම කලාපයට අයත් වේ. මෙම කලාපයෙන් මත්ස්‍ය විශේෂ 44ක් වාර්තා වී ඇති ඉන් 11ක් ශ්‍රී ලංකාවට ආවේණික වේ. එමෙන්ම මෙම 11 අතරින් 5ක් දැකිය හැක්කේ මහවැලි කලාපයේ පමණි.

උදා:-
    
Belontia signata(තල්කොස්සා)



Puntius srilankensis (දංකුඩ පෙතියා)



                         




 

රචනය:සංදීපනී පතිරණගේ

මූලාශ්‍ර: ගුණතිලක එස්.(2007)ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්-ජෛව විවිධත්ව ලේඛම් කාර්යාලය-පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය​.
 


Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...