Sunday, 28 February 2021
The most dangerous parasite in the world
Tuesday, 29 December 2020
"Right whale” තල්මසුන් විශේෂය පිළිබදව ඔබ අසා තිබේ ද?
Right whale
මෙම තල්මසුන් විශේෂය මෙලෙස හැඳින්වීමට හේතු වූයේ අතීතයේ මිනිසුන් මොවුන් දඩයම් කිරීම සඳහා සුදුසුම තල්මසුන් විශේෂය ලෙස සැලකීමයි. එයට හේතු වූ කරුණු කීපයකි;
- මෙම විශේෂය වෙරළට ආසන්නයේ දැකගත හැකිවීම
- අඩු පිහිනුම් වේගයක් තිබීම
- මියගිය පසු ඔවුන්ගේ පාවෙන සිරුරු පැහැදිලිව දැකිය හැකි වීම
- ඔවුන්ගේ සිරුරු තුලින් ලබාගත හැකි තෙල් ප්‍රමාණය අධික වීම
මෙවැනි හේතූන් නිසා මෙම තල්මසුන් විශේෂය වද වීමේ අවදානම් කලාපයට ඇතුලු වන තුරුම මිනිසුන් විසින් දඩයම් කරනු ලැබුවා.

මෙම තල්මසුන් වර්ගීකරණය කරන්නේ කෙසේද?
තල්මසුන් යනු සාගරය තමන්ගේ නවාතැන ලෙස භාවිතා කරනා ක්ෂීරපායී සත්ව විශේෂයකි. ඔවුන් පොදුවේ Cetaceans ලෙස හඳුන්වනු ලබනවා.
මෙම Cetaceans නැවත දත් ඇති නැති බව අනුව ආකාර දෙකකි. Right තල්මසුන් විශේෂයේ දත් පිහිටා නැති අතර ඔවුන් පෙරා බුදින්නන් (filter feeders) ලෙස හඳුනාගෙන ඇත.
මෙම තල්මසුන් විශේෂ කොපමණ ප්‍රමාණයක් දක්නට ලැබෙනවාද?
Right whale විශේෂ 3 ක් ලෝකය වටා මුහුදු කලාප තුල දක්නට ලැබෙනවා.
- Southern Right Whales (Eubalaena australis)
- North Atlantic Right Whales (Eubalaena glacialis)
- North Pacific Right Whales (Eubalaena japonica)
මෙම තල්මසුන් විශේෂ තුල බාහිරව වෙන්කර හදුනාගත හැකි, කැපී පෙනෙන ලක්ෂණ නොමැති වුවත් ඔවුන් තුල ජානමය සහ සංරක්ෂණ මට්ටම් වල වෙනස්කම් පවතී.
මේ අතරින් Southern right whale විශේෂය හදුනාගැනීමේ ලක්ෂණ කිහිපයක් ඇත.
එනම්, ඔවුන්ට තරමක් මහතින් යුතු කලු පැහැති සිරුරක් හිමිය. ඔවුන්ට පෘෂ්ඨිය වරල් පිහිටා නොමැති අතර V හැඩැති හොටයක් පිහිටා ඇත. ඔවුන්ගේ වලිගය පළල් ලෙස පිහිටා ඇති අතර සුමට දාරයකින් සමන්විතය. එමෙන්ම අසමාන හැඩැති සුදු පැහැති පුල්ලි වැනි සලකුණු ඔවුන්ගේ උදරයේ හා පපු ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙම සියලුම තල්මසුන් විශේෂයන්හි සමෙහි callosities ලෙස හදුන්වන කැලල් ආකාරයක් පිහිටා ඇත. බොහෝ විද්‍යාඥයින් මෙම කැලල් වල පිහිටීම සහ ස්වරූපය ඔවුන් හඳුනාගැනීම සදහා යොදා ගනු ලබයි.
මෙතරම් විශාල සිරුරු හිමි තල්මසුන්ගේ ආහාර කොපමණ කුඩා ද?
මෙම තල්මසුන් බහුල වශයෙන් ආහාරයට ගන්නේ සත්ව ප්ලවාංගය (copepoda & krill). ඔවුන් ඔවුන්ගේ විශාල මුඛය අර්ධ ලෙස විවර කරගනිමින් ඉතා විශාල ප්ලවාංග පොකුරු හරහා මතුපිට ජල මට්ටම් වල පිහිනනු ලබනවා. එවිට මෙම ප්ලවාංග ඔවුන්ගේ දත් නොමැති හකු හරහා (baleen plates) ඔවුන්ගේ මුඛය තුලට ගමන් කරනු ලබනවා. එලෙසම මෙම තල්මසුන් සාගර පතුල ද තමන්ගේ ආහාර සපයා ගැනීමට භාවිතා කරනු ලබනවා.
මෙම තල්මසුන් විශේෂ දක්නට ලැබෙන්නේ ලෝකයේ කවර රටවල් වලට අයත් සාගර කලාපවල ද?
- Southern Right Whale - ඇන්ටාට්කාව, ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ප්‍රoශය, මැඩගස්කරය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව
- North Atlantic Right Whale- බර්මියුඩාව, කැනඩාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, අයර්ලන්තය, නෝර්වේ, එoගලන්තය
- North Pacific Right Whale- ජපානය, රුසියාව
මෙම සියලුම තල්මසුන් විශේෂවල කුඩා පැටවුන්ගේ වාසස්ථාන පිහිටා ඇත්තේ මහද්වීපක තටාකයේ වෙරළ ආසන්නයේ ඇති නොගැඹුරු ජලයේය.
ඔවුන්ගේ සංක්‍රමණික රටා
සාමාන්‍යයෙන් මොවුන් ඔවුන්ගේ ග්‍රීෂ්ම ඍතුවේ ආහාර ලබාගන්නා භූමි ප්‍රදේශ හා සීත ඍතුවේදී පැටවුන් බෝ කරනා භූමි ප්‍රදේශ අතර ඍතුමය සංක්‍රමණික රටා පෙන්වනු ලබයි. උදාහරණයක් වශයෙන් southern right whale විශේෂයේ ග්‍රීෂ්ම ඍතුවේ අාහාර ලබාගන්නා වාසස්ථාන වනුයේ ඇන්ටාටිකාව වටා පිහිටා ඇති උප ධ්‍රැවීය සාගර කලාපය වන අතර ඔවුන්ගේ සීත ඍතුවේ වාසස්ථාන වනුයේ දකුණු ඇමෙරිකාවේ දකුණු වෙරළ තීරය වටා ඇති සාගර කලාපයයි.
මොවුන්ගේ පැවත්මට ඇති ප්‍රධාන තර්ජනය?
මිනිස් ක්‍රියාකාරකම් අද වන විට මොවුන්ගේ පැවැත්මට ප්‍රධාන තර්ජනයක් වී ඇත. මේ අතරින් ප්‍රධානම හේතු වන්නේ
- මාලු දැල් හා අනෙකුත් ධීවර ආම්පන්න වල මොවුන්ගේ සිරිරු පැටලීම
- නෞකාවල ගැටීම
- මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන කාලගුණික වෙනස්වීම්
- විවිධ කටයුතු සදහා සාගරයේ ක්‍රියාත්මක වන යන්ත්‍ර වලින් පිටවන අධික ශබ්ද වලින් සිදුවන ශබ්ද දූෂණය
මෙවැනි හේතුන් නිසා ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම, ආහාර හිඟ වීම, ධීවර ආම්පන්න නිසා ඔවුන්ගේ ශරීරයට හානි සිදුවීම (මෙවැනි ආසාදන මරණයට පවා හේතු වේ), අධික ශබ්ද දූශණය නිසා ඔවුන්ගේ හැසිරීම් රටා වෙනස් වීම හා සන්නිවේදනයට බාධා වීම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැක.
මොවුන් සංරක්ෂණයට ගෙන ඇති ක්‍රියාමාර්ග?
මූලික වශයෙන් මොවුන්ට ඇති තර්ජන හඳුනාගැනීමට පහත පියවර ගෙන ඇත. එනම්,
- ඔවුන්ගේ සංක්‍රමණික මාර්ග හරහා වැටී ඇති නාවික ගමනාගමන මාර්ග හඳුනාගැනීම හා වාර්තා කිරීම
- ගුවන් සමීක්ෂණ මඟින් මොවුන්ගේ වාසස්ථාන වල දත්ත ලබාගැනීම
- මෙම තල්මසුන් විශේෂය පිලිබඳව මිනිසුන් දැනුවත් කිරීම
- ඔවුන්ගේ වාසස්ථාන ඇති සාගර කලාප වල ගමන් ගන්නා නෞකාවල වේගය පාලනය කිරීම
- ඔවුන් ජීවත් වන ප්‍රදේශ වල සිදු කරන ධීවර කටයුතු සීමා කිරීම, එම ප්‍රදේශ වල ජලයේ ස්ථාපිත කර ඇති මාලු දැල් සීමා කිරීම
- එම ප්‍රදේශ වල හානිය අවම ධීවර ආම්පන්න භාවිතා කිරීම වැනි පියවරයන් ය.
මෙම තල්මසුන්ගේ සාගර කලාප වල ව්‍යාප්තිය හඳුනාගැනීමට විවිධ ක්‍රම භාවිතා කරයි. ඒ අතරින්; ඔවුන්ගේ ඡායාරූප සංසන්දනය කිරීම, ඔවුන් ජලය තුලින් ඉහළට මතුවන අවස්ථා ගණනය කිරීම (sightings data) (එම අවස්ථාවේ දිනය, වේලාව,ස්ථානය , ආදිය සටහන් කර ගැනීම)
යන ක්‍රම අද වන විට වඩා ප්‍රචලිත වී ඇත.
ඡායාරූප සංසන්දනය මඟින් මොවුන්ගේ ව්‍යාප්තිය, චලන රටා, ජනගහනයේ වෙනස්කම් යනාදිය හදුනාගැනීමට හැකිය. මෙම ක්‍රමයේදී ඔවුන්ගේ සිරුරේ පිහිටා ඇති 'Callosity' රටා ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබයි.
මෙහිදී කලින් හඳුනාගත් විශේෂ නැවත ගණනය වැලැකීම සඳහා මොවුන්ගේ දත්ත ගොනු ගබඩා කර තබාගනු ලබයි.
වර්තමානය වන විට මෙම තල්මසුන් විශේෂය පිළිබදව ලෝකයේ බොහෝ රටවල් අවදානය යොමු කර ඇති අතර ඔවුන් තවත් ලෝකයෙන් වඳ වී ගිය සත්ව විශේෂයක් නොවෙන්නට අප වගබලා ගත යුතුය.
රචනය: ශෂිනි විජේකෝන්
මූලාශ්‍ර:
https://www.nationalgeographic.com/animals/mammals/group/right-whales/
https://www.fisheries.noaa.gov/species/north-atlantic-right-whale
https://oceanservice.noaa.gov/facts/rtwhale.html
https://www.worldwildlife.org/species/north-atlantic-right-whale
https://uk.whales.org/whales-dolphins/how-we-help/saving-the-endangered-north-atlantic-right-whale/
Wednesday, 23 December 2020
Colombo Port City - Part 2 "කොළඹ වරාය නගරය"
Colombo Port City - දෙවන කොටස
ඉදිකිරීම සැලසුම්, පාරිසරික බලපෑම් සහ විසඳුම්
මෙම ව්‍යාපෘතියේ මූලික වශයෙන් සලකාබලනු ලබන කරුණක් වන්නේ සාගර කලාපය ගොඩ කිරීමේ දී එම ගොඩ කිරීම සඳහා භාවිතා කරනු ලබන වැලි ලබා ගැනීම යි. මේ සඳහා ගංගා හෝ වෙනත් නිෂ්පාදන මඟින් උපදවා ගනු ලබන වැලි භාවිතා කර ගත නොහැක. ඒ සඳහා වෙරළබඩ මුහුදු වැලි භාවිතා කිරීම සිදු කරයි. මෙම ගොඩකිරීමේ කටයුතු සඳහා වැලි කියුබික් මීටර් මිලියන 65 ක ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම වැලි වත්තල - දඹගමවත්ත හා මීගමුවේ බාසියාවත්ත අතර වෙරළබඩ තීරයට ඔබ්බෙන් ලබා ගනු ලබයි.
වැලි කැනීම සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශවල මුහුදු පත්ලේ විශාල වැලි ස්තරයක් පවතින අතර එහි මුහුදු තෘණ බිම් හෝ මත්ස්‍ය ආකර්ෂණය කරගන්නා කොරල් පර හෝ පිහිටා නොමැත.
ඉහත සඳහන් ප්‍රදේශ දෙක අතර වර්ග කිලෝමීටර් 100ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වැලි කැණීම් කටයුතු සිදු කරනු ලබයි. එහි ඇස්තමේන්තු ගත පරිදි කියුබික් මීටර් මිලියන 112 වඩා වැඩි ප්‍රමාණයක් පවතින අතර එය වරාය නගරය සදහා අවශ්‍යතාවය මෙන් දෙගුණයකි.
මෙහි වැලි කැණීම් කටයුතු සඳහා නාරා ආයතනය විසින් මාර්ගෝපදේශන මාලාවක් ලබා දී ඇති අතර එහිදී මූලික වශයෙන් අවධානය යොමු කොට ඇත්තේ සාගර කලාපයට සහ ධීවර කටයුතු වලට සිදුවන බලපෑම අවම කිරීම යි.
ඒ අනුව මෙහිදී වැලි කැණීමේ කටයුතු සිදුකරනු ලබන්නේ වෙරළ තීරයට කිලෝමීටර් 3 ක් ඔබ්බෙන් සහ මීටර් 15 කට වැඩි ජල ගැඹුරක් සහිත ප්‍රදේශවලින් පමණි.
මෙම සාගර කලාපයේ පතුල නිරීක්ෂක මගින් සිදු
කරනු ලැබූ දෘශ්‍ය සමීක්ෂණයකින් පැහැදිලිව ඇත්තේ එහි මුහුදු තණකොළ හෝ කොරල් පර හෝ නොමැති
බවත් මෙනිසා මත්ස්‍යය අභිජන ය සඳහා හිතකර පරිසරයක් නොපවතින බවත් ය.
තවද නිර්දේශිත ක්‍රමවේදයට අනුව වැලි ලබා ගැනීම
සඳහා Trailing Suction Hopper Dredger 4 ක් යොදා ගෙන වැලි කැණීමට අවසර ලබා දී ඇති අතර
එමගින් ලබාගන්නා වැලි අදාළ ප්‍රදේශවලට ගෙනැවිත් පතුල විවෘත කිරීම හා පොම්ප කිරීම මගින්
නිදහස් කරයි. එසේ නිදහස් කරනු ලබන වැලි, තලන උපකරණ ආධාරයෙන් සම්පිණ්ඩණය කෙරේ. මෙහිදී
විශාල කම්පනයක් ඇති වන බවත්, ගණනය කිරීම් වලට අනුව එමගින් ප්‍රධාන භූමියට බලපෑමක් නොමැති
බවත් සඳහන් වේ..
එය එසේ නමුත් ධීවරයන් සඳහා මත්ස්‍යයන් ඇල්ලීමේ කටයුතුවල දී ඔවුනට මෙම වැලි කැණීමේ ප්‍රදේශ වලට ළඟා විය නොහැකි අතර එමගින් ඔවුන් ගේ මත්ස්‍ය අස්වැන්නට බලපෑමක් සිදු ව ඇත.
කොළඹ දකුණ වරාය ව්‍යාපෘතියෙදී 5 km දිගැති දියකඩනයක් වෙරලට 2 km දුරින් ඉදි කර තිබූ අතර එමගින් කොළඹට උතුරින් ප්‍රදේශය ඛාදනය විය හැකි යැයි ගණනය කර තිබූ නමුත් පසුගිය වසර කීපය තුළදී එසේ කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව සඳහන් වේ. දියකඩනය නිසා සාගර තරංග උතුරු දෙසට විහිදෙන අතර එමගින් එම තරංග බලපෑමේ අඩුවක් පවතී යයි පැවසේ.
එසේම CPC ව්‍යාපෘති යටතේද එම නගර ආරක්ෂාව
සඳහා තවත් දියකඩනයක් ඉදිකොට ඇත. මීටර් 3245 දිගැති මෙම දියකඩනය නගරය වටා ඉදි කොට ඇති
අතර එය උසින් මීටර් 25ක් පමණ වේ. මේ ඉදිකිරීම සඳහා කළුගල් කියුබ් මිලියන 345 යොදාගෙන
ඇති අතර මෙය මෙරට පිහිටි පිළිගත් ගල් කොරි 11 කින්, එනම් රටේ සමස්ත කඵ ගල් නිෂ්පාදනයෙන් 7% පමණ මේ සඳහා යොදාගෙන ඇත.
මෙම ව්‍යාපෘතියෙහි තවත් එක් ගැටලුවක් වන්නේ
මළ අපද්‍රව්‍ය යි. ඒ සඳහා මෙම ව්‍යාපෘතියෙහි මළ අපවහන පද්ධතියක් ක්‍රියාත්මක වන අතර
එහිදී සියලුම මළ අපද්‍රව්‍ය එක්රැස්කොට පිරිපහදු කර ජලය ලෙස ගෙන ඒවා ඉවත් කිරීමට සැලසුම්කර
ඇත.
එසේම අපජල පිරිපහදු ඒකක, පානීය ජල පිරිපහදු ඒකක වැනි ජල පිරිපහදු කිරීමේ ඒකක ද ඉදිකිරීමට සැලසුම්කර ඇත. තවද භූගත නල මාර්ග ඔස්සේ ගොඩනැගිලිවල මුලුතැන්ගේ දහන කටයුතු සඳහා අවශ්‍යකරන ඉන්ධන ලෙස ගෑස් ලබාදීමට ද කටයුතු කරනු ඇත.
තවද මෙහි අනාගත සැලසුම් ලෙස බේරෙ වැවෙහි පිටවානේ 50m ක් පමණ කොටසක් ඉතුරු වන පරිදි එහි බැම්ම ඉදි කරවනු ලබන අතර එවිට එම ප්‍රදේශයට පැමිණෙන වැලි සියල්ල ගාලු මුවදොර කෙළවරෙහි රැඳවිය හැකි යැයි පැවසේ. එමගින් නොගැඹුරු සාගර කලාපයක් එහි නිර්මාණය කළ හැකි බවත් එය වෙරළ තීරයක් ලෙස විනෝදාස්වාදය සඳහා යොදා ගත හැකි යැයි ද පැවසේ.
එසේම මෙම නව නගරයට පිවිසීමේ මංමාවත් සංවර්ධනය
කරනු ලබන අතර එහිදී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වරාය චෛත්‍යය පාර හරහා වරාය නගරයට
සම්බන්ධ වන පරිදි ඉදි කරනු ලබන අතර තවත් අධිවේගී මාර්ගයක් වරාය ප්‍රදීපාගාරයේ සිට උමං
මාර්ග ඔස්සේ සාගර කලාපයෙන් කොල්ලුපිටිය දක්වා පිවිසිය හැකි වන පරිදි ඉදිකිරීමට සැලසුම්
කර ඇත.
මෙලෙස ඉදිවන කොළඹ වරාය නගරයේ සෑම විටම පාරිසරික බලපෑමක් සහ එහි ඉදිකිරීම් ප්‍රමිතිය අධ්‍යයනය කිරීමට තෙවන පාර්ශවයක් සිටින අතර එමඟින් ව්‍යාපෘතියේ ඵලදායී බව ඉහළ නංවා ඇත.
මෙලෙස ඉදිවෙන වරාය නගරය ඇත්තෙන් ම අනාගතයේ
දී තවත් එක් සාගර කලාපයේ නුදුරින් පිහිටි නගරයක්ම පමණක් වන බව පැහැදිලිය.
රචනය : සංජය තිලකරත්න
මූලාශ්‍ර :
Thursday, 17 December 2020
Mic On 2020
Friday, 11 December 2020
Colombo Port City - "කොළඹ වරාය නගරය"
Colombo Port City - පළමු කොටස
මොකක්ද මේ Colombo Port City කියන්නේ?
Colombo Port City (CPC) හෙවත් වරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ අගනුවර වන කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ වරායට දකුණින් පිහිටි වෙරළ තීරයෙන් ඔබ්බට ඉදිකරනු ලබන නවතම නගර සංවර්ධන ව්‍යාපෘතිය යි. සාගර කලාපය ගොඩ කර තනනු ලබන මෙම නව නගරය ප්‍රමාණයෙන් හෙක්ටයාර 269 හෙවත් අක්කර 664 නව භූමියකට හිමිකම් කිය යි. මෙම පෝර්ට් සිටි ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ප්‍රමුඛතම නේවාසික හා ව්‍යාපාරික ගමනාන්තය වනු ඇතැයි සැලකේ.
මෙම නව භූමිය ප්‍රධාන කලාප පහකින්
සමන්විත වන අතර ඒවා නම්; International Island, Central
Park living, Island living, Marina සහ International Island යනාදිය
යි.
මෙම CPC ව්‍යාපෘතිය අවසානය වන විට හෙක්ටයාර 560ක (අක්කර 1383.8) පමණ ඉදි කිරීමේ අවකාශයක් ගොඩනැගෙනු ඇතැයි සැලකේ.
මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු ප්‍රමිතියෙන්
විශිෂ්ඨ මට්ටමින් පවතින අතර මෙම ව්‍යාපෘතිය මූලික වශයෙන් මිනිසුන්ගේ ජීවන රටාව
කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙහිදී ව්‍යාපාරික කටයුතු, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය,
විනෝදාස්වාද, හෝටල් සහ ආපනශාලා, වෙළඳ කටයුතු සහ කාර්යාල, නිවාඩු නිකේතනය ඇතුළත් වන
පරිදි නිර්මාණය කර ඇත. එමගින් සාගර කලාපයේ ජීවත් වීමේ නවමු අත්දැකීමක් ඇති කරන අති
නවීන පහසුකම් සලසන නගරයක් ලෙස එය ගොඩ නැගෙනු ඇත.
China Communications Construction Company Ltd. හි කොටසක් වන China Harbour Engineering සමාගම හරහා සිදු කෙරෙනු ලබන මෙම ව්‍යාපෘතියෙහි මෙරට භාරකාර ආයතනය ලෙස කටයුතු කරනු ලබන්නේ CHEC Port City Colombo සමාගමයි.
මෙම ව්‍යාපෘතියේ පළමු වන අදියර යටතේ ගොඩ කිරීමේ කටයුතු සිදු කෙරෙන ප්‍රමාණය හෙක්ටෙයාර 269 කි. මේ සඳහා ඇස්තමේන්තු ව්‍යාපෘති පිරිවැය ඩොලර් බිලියන 1.4 ක් වන අතර මේ වනවිට ඩොලර් මිලියන 800ක පමණ වැඩ නිමකර ඇති නමුත් Covid-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිරි කටයුතු සඳහා ව්‍යාපෘති පිරිවැය ගණනය කළ අගයට වඩා ඉහළ යා හැකි බව ද පැවසේ.
නවතම වාර්තාවට අනුව මෙසේ මෙරට සාගර කලාපය ගොඩ කර තනනු ලැබෙන හෙක්ටයාර 269 නව භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 178 අලෙවි කළ හැකි වේ.
ප්‍රතිලාභ...
මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් වෙත අවස්ථාව සලසා දීම මගින් නව රැකියා අවස්ථා උත්පාදනය වේ. වර්තමානය වන විට මෙහි 70% ක් පමණ මෙරට සේවකයින් කටයුතු කරනු ලබන අතර ඉතිරි ය චීන සමාගමට අයත් සේවකයින් කටයුතු කරනු ලබයි.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය අවසානයේ මෙරට තුළ නව වඩාත් ආකර්ෂණීය වූ සංවර්ධිත නගරයක් ගොඩනැගෙන අතර එමගින් සංචාරක හෝටල් සහ ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉහළ දියුණුවක් අත්කර ගත හැකිය.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ නව නිෂ්පාදන හා
සේවා කටයුතු ආරම්භ වන අතර, එහි පවතින සියළුම ආයතනයන් හි කටයුතු සදහා නව රැකියා
අවස්ථා ඇති වීම මගින් විරැකියාව සඳහා එය තරමක පිටිවහලක් වනු ඇත. ඇස්තමේන්තුගත පරිදි මෙමගින් නව රැකියා අවස්ථා 83000
පමණ උත්පාදනය වනු ඇතැයි සැලකේ.
වර්තමාන තත්ත්වය...
මේ වන විටත් සාගර කලාපයේ හෙක්ටයාර 269
ප්‍රමාණයක් වැලි වලින් පුරවා ඇති අතර කිලෝමීටර් 2.4 පමණ දිගැති දියකඩනයක් සහ ප්‍රධාන
මෙහෙයුම් කාර්යාල හා මං මාවත් ඉදිකොට ඇත.
එසේම Central Park හි ඉදිවන නාගරික උද්‍යානයේ ශාක රෝපණ කටයුතු ආරම්භ කර ඇති අතර root ball කරන ලද මධ්‍යම ප්‍රමාණයේ ශාක ගෙන විත් රෝපණය කරනු ලබයි.
මෙසේ තිරසාර නගර සැලසුම් සහ Smart City
සංකල්ප මත ගොඩනැගෙන මෙම CPC ව්‍යාපෘතිය නුදුරු අනාගතයේ (වසර 25 පමණ) දී දකුණු ආසියාවේ වඩාත්
සජීවී නගරය වනු ඇත.
රචනය : සංජය තිලකරත්න


























