ඔබ පෘථිවියේ කොතැනක ජීවත් වුවත්, සාගරයෙන් කොතරම් දුරස් ව ජීවත් වුවත්, ඔබේ ජීවිතය සාගරය මත රඳා පවතී. සමුද් රජීවීන් අප ආශ්වාස කරන ඔක්සිජන් වලින් 70% ක් සපයයි. සාගරය පෘතුවියේ දේශගුණය පාලනය කරයි. එය අපට ආහාර සහ ඖෂධ වර්ග මෙන්ම ප්‍රවාහනය ද සපයයි. අපේ පෘථිවියෙන් 70% ක් පමණ ආවරණය වන්නේ එක් විශාල , අඛණ්ඩ සාගර ජල කඳකිනි. නමුත් මේ දක්වා අප ගවේෂණය කර ඇත්තේ සාගරයෙන් 5%ක් පමණක් බැවින් අප දැක නැති ගැඹුරු කරුණු සාගරය ආශ්‍රිතව තිබිය හැකිය.
Source: http://commons.wikimedia.org |
සාගරය පෘථිවි දේශගුණය නියාමනය කරයි. එය වැසි සහ වියළි කාලගුණය නියාමනය කරනු ලබයි. සාගරය පෘථිවියේ ජලයෙන් 97% ක් පමණ රදවාගෙන සිටින අතර, ගොඩබිමට ඇද හැලෙන වර්ෂාව සියල්ලම පාහේ සාගරයෙන් පැමිණේ. කාබන් චක්‍රය පවත්වා ගැනීම සඳහා සාගරය CO2 අවශෝෂණය කර ගන්නා අතර ඒ අනුව පෘථිවියේ උෂ්ණත්වය සමතුලිත වේ. එය අපේ ගෝලීය දේශගුණික පාලන පද්ධතියට සමානය.
ලෝක සාගර දිනය යනු සාගරයන් අපගේ ජීවිත කාලය තුළ ඉටු කරන අතිශය වැදගත් භූමිකාව, අපේ සාගරවලට මුහුණ දීමට සිදුව ඇති අන්තරායන් සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සිතා බැලිය යුතු දිනයකි. ලෝක සාගර දිනයේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ සාගරය අපගේ ජීවිත තුළ ඉටුකරන වැදගත් කාර්යභාරය පිළිබඳව මිනිසුන්ට මතක් කිරීමයි. ජීවිතය ආරම්භ වූයේ ද සාගරයේය. තනි සෛල ජීවීන්ගේ සිට නිල් තල්මසුන් දක්වා පෘථිවියේ බොහෝ ශාක හා සතුන් සාගරයේ වාසය කරයි. මේ මොහොතේ සාගරය මුහුණදෙන වඩාත්ම හදිසි ගැටළුව වන්නේ ප්ලාස්ටික් නිසා ඇතිවන දුෂණයයි. ප්ලාස්ටික් බෑග් සහ ප්ලාස්ටික් බෝතල් ඇතුළු ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම වසර ගණනාවක් තිස්සේ ලෝක සාගර දිනය සඳහා වැදගත් තේමාවක් වී තිබේ.
දේශගුණික විපර්යාස, සාගර ජලය ආම්ලික වීම, සාගර උෂ්ණත්වය ඉහළයාමද විශාල ගැටලුවකි. ඉහළ යන සාගර උෂ්ණත්වය කාලගුණික රටාවන්ට සෘජු බලපෑමක් ඇතිකරන අතර ආන්තික කාලගුණික තත්ත්වයන් වැඩිවීමට ද බලපානු ඇත. වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් මුහුදු ජලයේ ආම්ලිකතාවය ඉහළ යාම කොරල් පර ඇතුළු බොහෝ සාගර ජීවීන් අවදානමට ලක්කරයි.
Coral bleaching |
ලෝක සාගර දිනයේ පරමාර්ථය වන්නේ සාගරයෙන් භුක්ති විඳින ප්‍රතිලාභ පිළිබඳව මිනිස් ප්‍රජාව දැනුවත් කිරීමයි. සාගරය මගින් මිනිසා ඇතුළු සියලු පෘතුවි ජීවීන් ජීවය ලබයි. ඉතින්, දැන් සාගරයේ තිරසාර සංවර්ධනය සඳහා සාගරය හා සාගර සම්පත් සංරක්ෂණය කිරීමේ වාරයයි. ලෝක සාගර දිනය යනු මානව වර්ගයා සාගරය සැමරීමේ දිනය පමණක් නොවිය යුතුමය.
ලෝක සාගර දිනය ජුනි 8 වන දින සමරනු ලැබේ. ලෝක සාගර දිනය යනු සාගරයට ස්තුති කිරීමට සහ සාගරයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට මාර්ගයක් සොයා ගැනීමට හොඳ අවස්ථාවකි.මෙම වසරේ සාගර දිනයේ මූලික අවධානය යොමු වන්නේ සාගරය ආශ්‍රිතව මිනිසාගේ ජීවිතය සහ ජීවනෝපාය යන අංශ කෙරෙහිය. 2021 ලෝක සාගර දිනය සඳහා තේමාවවන්නේ “සාගරය: ජීවිතය සහ ජීවනෝපාය”යන්නයි. එය විශේෂයෙන්ම 2021 සිට 2030 දක්වා දිවෙන තිරසාර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සාගර විද්‍යා දශකය උදෙසා වැදගත් වන තේමාවකි. ලෝක සාගර දිනය පිළිබඳ සංකල්පය ප්‍රථම වරට යෝජනා කරනු ලැබුවේ 1992 දී රියෝ ද ජැනීරෝ හි පැවති පෘථිවි සමුළුවේදීය. ලෝකයා අතර බෙදීගිය සාගරය සමඟ මිනිසුන්ගේ සම්බන්ධතාවය පිලිබද අවදානය යොමු කිරීම සඳහා මෙම අදහස මතුවිය. මෙමඟින් සාගරය අපගේ ජීවිත තුළ ඉටුකරන තීරණාත්මක කාර්යභාරය සහ එය ආරක්ෂා කිරීමට මිනිසුන්ට උපකාර කළ හැකි වැදගත් ක්‍රමෝපායන් පිළිබඳව දැනුවත් විය.
සාගරය පෘථිවියේ ජෛව විවිධත්වයේ නිවහන බඳු වන අතරම, එය ලොව පුරා බිලියන ගණනකට වැඩි පිරිසකට ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවයන් සපයයි. 2030 වනවිට සාගරය පාදක කරගත් කර්මාන්තවල නියැලී සිටින ජනතාව මිලියන 40 ක් බවට ඇස්තමේන්තු කර ඇත.
එබැවින් අනාගතේ ද සාගරය අපේ ආර්ථිකයට අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් විශාල මත්ස්‍ය ගහනයෙන් 90% ක් සහ කොරල්පර වලින් 50% ක් විනාශ කරමින් අපි සාගරය සූරාකමින් සිටිමු. සාගරයට නැවත සංශ්ලේෂණය කල නොහැකි පරිමාණයෙන් අප සාගරයෙන් සියලුම දෑ ලබා ගනිමින් සිටින්නෙමු. සාගරය සතුව සියලු ප්‍රතිලාභ තිබුණද වර්තමාන තත්ත්වය නම්, මේ ගෙවෙන්නේ සාගරයට අපගේ සහාය අත්‍යවශ්‍යය මොහොතයි.
ලෝක සාගර දිනයේ පරමාර්ථය වන්නේ සාගරය මත මානව ක්‍රියාවන්ගේ බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සාගරය සඳහා ලොව පුරා පුරවැසියන්ගේ අවදානය වර්ධනය කිරීම සහ ලෝක සාගරවල තිරසාර කළමනාකරණය සඳහා වන ව්‍යාපෘතියක් සඳහා ලෝක ජනගහනය බලමුළු ගැන්වීම හා එක්සත් කිරීමයි.
සාගරය නීරෝගී ව පවත්වා ගෙන යාම සදහා මෙන්ම ,සාගර සම්පත් ආරක්ෂා කිරීම සදහා, සාගරය පිළිබඳ සැබෑ අවබෝධය හා මානව වර්ගයා සාගරය සමග සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිලිබද ව සමබර ක්‍රමවේදයක් ඇතිකල යුතුය. අතීතයේ උගත් පාඩම් ද වර්තමානයේ තත්ත්වය ද සලකා බලා අනාගතයේ සාගර යහපැවැත්ම උදෙසා නව ආකල්ප සහ ක්‍රමවේද වර්දනය කල යුතුය.මන්ද යත් මානව වර්ගයාගේ යහපැවැත්ම තහවුරු වීමට නම් පෘතුවි සාගරයන්හි යහපැවැත්ම සහ නීරෝගී බව තහවුරු විය යුතුමය.
රචනය: නිෂාදි ගම්මන්පිල
0 comments:
Post a Comment