Search here..

Friday 18 June 2021

සිඳී ගිය අරල් මුහුද ( Crisis of the Aral sea )

 

වර්තමානයේ අරල් මුහුද 

මිනිසා විසින් ඉක්මන් කරවන පෘථිවි තලයේ අවසානය සිහිපත් කරන ඛේදවාචකයක් ලෙස අපට සිඳී ගිය අරල් මුහුද පෙන්විය හැක. අරල් මුහුද අතුරුදහන් වුයේ කෙසේද? මේ ඒ ගැන කෙටි විමසා බැලීමකි.

මධ්‍යම ආසියාවේ කසකස්ථානයේත්  උස්බකිස්ථානයේත් දේශසීමා මායම් අතර පිහිටා ඇති අරල් මුහුද කලක් ලොව සිව්වැනි විශාලතම ගොඩබිමින් වට වූ මුහුද ( Inland sea) ලෙස නම් කෙරිණි. ශ්‍රී ලංකාව තරම් විශාලත්වයකින් යුතු මෙම මුහුද සක්‍රීයව පැවතී අවදියේදී 68000 km2 තරම් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී තිබූ,  දූපත් 1100 කට අධික සංඛ්‍යාවක් ජලයෙන් වට කරමින් පැවති සුවිශාල ජලාශයකි. සැබවින්ම මුහුදක් ලෙස හදුන්වනු ලැබුවද එය අතිවිශාල මිරිදිය ජලාශයකි. අරල් මුහුද සක්‍රීයව තිබියදී එහි ගැඹුරුම ස්ථානය 68 m හා නොගැඹුරුම ස්ථානය 16 m වූ බවට වාර්තා වේ. “Amu Darya” සහ “ Syr Darya” ගංගාවන් දෙක අරල් මුහුදේ ප්‍රධාන පෝෂක ගංඟාවන් විය.


සෝවියට් රුසියානු සාමුහාණ්ඩුව පැවති සමයේ අරල් මුහුද සෝවියට් සාමුහාණ්ඩුවට අයත්ව තිබූ අතර එහි ආරක්ෂාව සදහා සෝවියට් රුසියන් යුද නැව් කිහිපයක් යොදවා තිබූ බවටද වාර්තා වේ. එකල අරල් මුහුද සෝවියට් රුසියාවේ සිව්වැනි විශලතම  මත්ස්‍ය නිෂ්පාදකයා ලෙස සෝවියට් අර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී ඇත. විශාල ජෛව පද්ධතියකට හිමිකම් කියූ අරල් මුහුදේ ජලය කරදිය වුවත් එහි ලවණතාවය සැලකිය යුතු අඩු අගයක පැවතීම නිසා ජනතාව අරල් මුහුදේ ජලය විවිධ කෘෂිකාර්මික වගාවන්ට මෙන්ම පානය සදහාද භාවිත කර ඇත. අරල් මුහුදෙහි සිදු කෙරුණු ධීවර කර්මාන්තය මගින් දළ වශයෙන් පුද්ගලයන් 60000 කට පමණ ජීවනෝපාය සලසා දී තිබේ.

ශ්‍රී ලංකාව හා සමාන විශාලත්වයකින් යුතු මහා ජලස්කන්ධයක්  පසුගිය දශක තුනක් තිස්සේ සිදී ගොස් අද වනවිට වැලි කාන්තාරයක් බවට පත්ව ඇත. මෙම විනාශයේ වගකිවයුත්තන්  වනුයේ එවකට සෝවියට් පාලනයේ අදූරදර්ශින් හා ඔවුන්ගේ ක්‍රියාපිලිවෙලයි.

 සෝවියට් රුසියාවේ කපු වගාව

            1960 දශකය පමණ වනවිටත් සෝවියට් රුසියාව කාන්තාර බිම්වල අධික ජල ඉල්ලුමක් ඇති කපු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගැනීමත් සමඟ ඔවුන් අරල් මුහුදේ ප්‍රධාන පෝෂක ගංඟාවන් හරස් කරමින් ඉදිකළ වාරිමාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් අරල් මුහුදට පෝෂක ගංගාවන්ගෙන් ලැබෙන ජල ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වීමට පටන් ගත්තේය. කපු වගාව ක්‍රමයෙන් දියුණුවීමත් සමඟ අරල් මුහුදට ලැබෙන ජල ප්‍රමාණය ඉතා අඩු අගයකට පත්විය. ප්‍රථමයෙන්ම අරල් මුහුද සිදී යාමේ තර්ජනය  1954 වර්ෂයේ පර්යේෂකයන් පිරිසක් සොයා ගත්තද කපු වගාවෙන් ලැබෙන විශාල ආදායම නිසා පාලකයන් විසින් එය නොසලකා හරින ලදී.

1965 පමණ වන 50 km3 ජල ස්කන්ධයක්  පෝෂක ගංගාවන්ගෙන් අරල් මුහුදට ලැබුණු අතර 1980 වනවිට එම අගය බින්දුව බවට පත්විය. 1997 වනවිට අරල් මුහුද එහි මුල් ප්‍රමාණයෙන්  10% ක්ම අඩු වී තිබූ අතර එය කොටස් 4 කට වෙන් වුනි. 1960 දශයේ මුල් භාගයේ පටන් ආරම්භ වූ අරල් මුහුදේ සිඳී යාම 2010 වනවිට අරල් මුහුද ඉතා කුඩා ප්‍රදේශයකට සීමා විමට හේතු විය.


ක්‍රමිකව අරල් මුහුද සිදී යාම  1977 සිට 2013 දක්වා

 

අරල් මුහුද සිදී යාමේ ප්‍රතිඵල

                  වර්ෂ 30 ක් තිස්සේ අරල් මුහුද වියලී යාමත් සමඟ වාෂ්පීභවනයට  ලක් වුනු අරල් මුහුදේ ජලයේ ලවණතාවය හා ඛනිජ ලවණ සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි විය. ජලජ රසායනයේ වෙනස් වීම ජලජ ජෛව පද්ධතියට අහිතකර බලපෑම් ඇති කරවිය. මත්ස්‍ය නිෂ්පාදනයද සැළකිය යුතු  ලෙස පහල වැටිණි. අද වනවිට අධික ලවණතාවය හා විෂ සහිත බව නිසා අරල් මුහුදේ ජීවය අතුරුදහන් වී ඇත. මෙම තත්වය නිසා අරල් මුහුද ආශ්‍රිත  ප්‍රදේශයේ පාංශු ලවණතාවය  ඉහල ගොස් ඇති අතර එම නිසා භූගත ජලයද දූෂණය වි ඇත.

                   අරල් මුහුද සිඳී යාමත් සමඟ ඇති වූ දරුණු පාරසරික විපර්යාසයක් ලෙස විෂ සහිත ලුණු කුණාටු මෙන්ම වැලි කුණාටු ඇති වීම දැක්විය හැක. අධික ලෙස ලවණ තැන්පත් වූ සිඳී ගිය අරල් මුහුදු පතුල හරහා හමා යන විෂ සහිත ලුණු මිශ්‍රිත සුළං ඒ අවට භුමියේ ජෛව පද්ධතියටද විශාල ලෙස බලපෑම් ඇතිකර ඇති අතර කෘෂිකාර්මික වගාවන්ටද , බෝග මත ලවණ තැන්පත් වීම නිසා දැඩි හානි සිදු කරයි. මෙම විෂ වැලි කුණාටු වාර්ෂිකව අප්‍රේල් සිට ජුලි අතර වැඩි වශයෙන් ඇති වේ. මෙම වැලි කුණාටු නිතර නිතර ඇති වීම එම ප්‍රදේශයන්හි ජන ජිවිත කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර ඇත්තේ විශාල සෞඛ්‍ය ගැටළු රැසකට මගපාදමිනි. අද වනවිට ශ්වසන රෝග හා පිළිකා ඇති වීම වැඩි වි ඇති අතර ළදරු මරණ අනුපාතයද ඉහල යාම භායනක ප්‍රතිඵල ලෙස දැක්විය හැක.


අරල් මුහුද සිඳී යාම දේශගුණික විපර්යාස ඇති කිරීමට මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහල යාමටද ඍජුවම බලපා ඇත. 1960 සිට 2000 කාලයේදී එම ප්‍රදේශයේ සාමාන්‍ය මාසික වායුගෝලීය උෂ්ණත්වය 20 Cº සිට 60 Cº අගයකින් වැඩි වි ඇත. එම ගෝලීය කලාපයේ ඍතූන්ගේ විශාල වෙනස්කම් ඇති කිරීමට තරම් මෙය බලපා ඇත.

කලක් ඉතා ජනාකීර්ණව සශ්‍රීකව පැවති අරල් මුහුද අවට භුමිය වර්තමානය වනවිට ජනශූන්‍ය නිසරු බිමක් බවට පත්ව ඇත. අද වනවිට දිරායමින් තිබෙන ධීවර යාත්‍රා ගණනාවක්ම වැලි කාන්තාරයක් මත තිබෙනු ඕනෙම අයෙකුට දැකගන්නට ලැබෙනු ඇත. අරල් මුහුද සිඳී යාමත් සමඟ ඒයින් ඇති වූ ව්‍යසනය තවමත් හරිහැටි තක්සේරු කළ නොහැක. විශේෂඥයන් පවසන පරිදි මෙයින් සිදු වි ඇති හානිය නැවත යථාතත්වයට පත් කළ නොහැක.

රචනය :  එම්. ඊ. නිපුනි සෞම්‍යා

Reference : www.columbia.edu

                      www.earthobservatory.nasa.gov

                      www.tidsskriftet.no

 


Share:

0 comments:

Post a Comment

Contact Form

Name

Email *

Message *

Featured post

Mic On 2020

       ‘Mic On 2020’ - An Intra faculty, song and instrumental cover contest, was successfully organized by the Aquatic students’ Associatio...